ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු නිවේදනය කෙරේ

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස මෙතෙක් කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා පත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(7) නිල වශයෙන් නිවේදනය කළා.

ඔක්තෝබර් පළමු වැනිදා සිට 2026 වසරේ මාර්තු 31 වැනිදා දක්වා වන කාලයට අදාළව ඔහු සමග ගිවිසුම්ගත වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු ද වන සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පසුගිය මාස කිහිපයේ දී කටයුතු කළේ හිටපු ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සිය කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර නොගැනීමට තීරණය කිරීම හේතුවෙනුයි.

ජයසූරියගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට සමත් වීම පදනම් කර ගනිමින් ඔහුව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පළමුව ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සදහා හා ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය සදහා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ධූරයේ වගකීම සනත් ජයසූරියට හිමි වූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දියාවට එරෙහිව වසර 27 කට පසු ඓතිහාසික එක්දින තරගාවලි ජයක් ද, වසර 10 කට පසු එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරග ජයක් ද වාර්තා කළා.

අනතුරුව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ද වැඩබලන පුහුණුකරු ලෙස ඔහුව පත් කෙරුණු අතර, එම තරගාවලිය ද තරග 2-0 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාව එලෙස නවසීලන්තය පරදා ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ වසර 15 කට පසුව වීම කැපී පෙනුණා.

සනත් ජයසූරිය නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු අභියෝය වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එළඹෙන 13 වැනිදා ආරම්භ වීමට නියමිත විස්සයි 20 තරගාවලියයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...