කමිදු, කුසල් හා චන්දිමාල්ගේ ශතක හමුවේ තරගයේ පාලනය ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (27) නිමා වුණේ කමිදු මෙන්ඩිස්ගේ හා කුසල් මෙන්ඩිස්ගේ විශිස්ඨ ශතක හමුවේ තරගයේ පාලනය ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 22 ක් ලබා සිටියා. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු 602 ට පිළිතුරු ලෙසයි.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ටොම් ලේතම් පළමු පන්දුවාරයෙන්ම දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ ලකුණු දෙකක් ලබා සිටියදීයි. ඩෙවෝන් කොන්වේ ලකුණු 9 ක් ලබා සිටියදී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා. කොන්වේගේ දැවී යාම යම් මතභේදාත්මක තත්ත්වයක් ද නිර්මාණය කළේ ඔහු දවා ගැනීම සදහා ධනංජය ද සිල්වා රැක ගත් උඩ පන්දුව නිසි අයුරින් රැක ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ඇතිවූ සැකය හේතුවෙන්.(දර්ශන පහතින්)

කේන් විලියම්සන් නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, අජාස් පටෙල් මෙතෙක් ලකුණු රැස් කිරීම ආරම්භ කර නැහැ.

ඒ අනුව මේ වන විට නවසීලන්තය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 580 ක්.

දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3 ක් දැවී ලකුණු 306 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු පහක් දැවී ලකුණු 602 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කමිදු මෙන්ඩිස් ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කිරීමත් සමගයි.

ලෝක ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් ලකුණු 1,000 සම්පූර්ණ කළ සම දෙවැනි වේගවත්ම පිතිකරු හා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 1,000 සීමාව පසු කළ වේගවත්ම පිතිකරු ලෙසයි කමිදු ඉතිහාසගත වුණේ. ඔහු ඒ සදහා වැය කළේ ඉනිම් 13 ක් පමණයි.

කමිදු නොදැවී ලකුණු 182 ක් ලබා ගත්තේ පන්දු 250 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 16 ක් සමගින්. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106 ක් රැස් කළා. පන්දු 149 කින් වාර්තා වූ කුසල්ගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 6ක් ඇතුළත්. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 200 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අද දිනයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 88 කටත්, ධනංජය ද සිල්වා ලකුණු 44 කටත් දැවී ගියා. ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ දිනේෂ් චන්දිමාල් ලකුණූ 116 ක් ලබා ගත්තා. දිමුත් කරුණාරත්න ලකුණු 46 යි.

පන්දු යැවීමේ දී ග්ලේන් පිලිප්ස් ලකුණු 141 කට කඩුලු තුනක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...