ලකුණු 30 කට කඩුලු 9 ක් දැවී යාමත් සමග ශ්‍රී ලංකාවට ලකුණු 43 ක පරාජයක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 43 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(27) සමත් වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 214 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

පැතුම් නිස්සංක පන්දු 48 කින් ලකුණු 79 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට සුපිරි ආරම්භයක් ලබා දුන්නේ කුසල් මෙන්ඩිස් සමග පළමු කඩුල්ලට පන්දුවාර 8.4 ක් තුළ ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් පැතුම්ගේ ඉනිමට ඇතුළත් වුණා. කුසල් මෙන්ඩිස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 45 (27) ක්.

පන්දුවාර 14 ක් අවසන් වන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 140 ක් ලබා ස්ථාවර මට්ටමක පසු වුණා. ඒ අනුව අවසන් පන්දු 36 තුළ දී ශ්‍රී ලංකාවට කඩුලු 9ක් අතැතිව තරගය ජය ගැනීම සදහා අවශ්‍යව තිබූ ලකුණු සංඛ්‍යාව 74 ක්.

කෙසේ වෙතත්, ඊළග පන්දු 19 තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 23 ක් තුළ බිද වැටීමත් සමග තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා. 15 වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී පැතුම් නිස්සංක දැවී යාමෙන් පසු කුසල් පෙරේරා ලකුණු 20(14) කට දැවී ගිය අතර, චරිත් අසලංක හා දසුන් ශානක ලකුණු නොලබා දැවී ගියා. කමිදු මෙන්ඩිස් ලකුණු 12 යි. වනිදු හසරංග රැස් කළේ ලකුණු දෙකක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 9 දැවී ගියේ ලකුණු 30 ක් තුළදීයි. පන්දු යැවීමේ දී රියාන් පරාග් පන්දුවාර 1.2 ක් තුළ ලකුණු 5 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. අර්ෂ්දීප් සිං හා අක්සාර් පටෙල් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ යශස්වි ජයිස්වාල් ලකුණු 40(21) ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 34(16) ක් රැස් කළා.

නායක සූර්යකුමාර් යාදව් ලකුණු 58 ක් ලබා ගත්තේ පන්දු 26 කින්. ඒ, හයේ පහර 2 ක් හා හතරේ පහර 8ක් සමගින්. රිෂාබ් පාන්ට් ලකුණු 49(33) යි.

ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ දී ලකුණු 213 ක් රැස් කළේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගත්තා. වනිදු හසරංග කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 28 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...