පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ KKR තෙවැනි වරටත් IPL ශූරයින් වෙයි

Date:

කොල්කටා පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ දක්ෂතා හමුවේ 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා කඩුලු අටක ජයක් වාර්තා කරමින් තෙවැනි වරටත් අයි.පී.එල් ශූරතාවය දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(26) සමත් වුණා.

චෙන්නායි හි පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, එම තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දැක් වූ නයිට් රයිඩර්ස් පන්දු යවන්නන් සන්රයිසස් කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18.3 ක් තුළ ලකුණු 113 කට දවා ගත්තා. එය අයි.පී.එල් අවසන් මහා තරගයක පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායමක් ලබා ගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ.

ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා තරගයේ පළමු පන්දුවාරයෙන්ම යළි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට මිචෙල් ස්ටක් සමත් වුණේ ඔහු යොමු කළ විශිෂ්ඨ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. ඔහු සමග ඉනිම ඇරඹූ ට්‍රැවිස් හෙඩ් තරගයේ දෙවැනි පන්දුවාරයේ දී දැවී ගියා. ඒ, විභව් අරෝරාගේ පන්දුවක් හමුවේයි.

අංක 3 පිතිකරු වූ රාහුල් ත්‍රිපාති ලකුණු 9 කට දැවී ගිය අතර, ඒඩ්න් මාක්‍රම් ලකුණු 20 කටත්, නිටිෂ් කුමාර් ලකුණු 13 කටත්, හෙන්රික් ක්ලාසන් ලකුණු 16 කටත් දවා ගනිමින් කොල්කටා පන්දු යවන්නන් විසින් සන්රයිසස් හයිදරාබාද් ප්‍රේක්ෂකයින්ගේ සියලු බලාපොරොත්තු සුන් කර දැමීමට සමත් වුණා.

ශහ්බාස් අහ්මඩ් ලකුණු 8යි. දිගින් දිගටම කඩුලු දැවී යාමත් සමග ට්‍රැවිස් හෙඩ් වෙනුවට Impact Player ලෙස ඉනිම අතරතුර දී ම කණ්ඩායමට කැදවූ අබ්දුල් සමාද් රැස් කළේ ලකුණු 4 ක් පමණයි. නායක පැට් කමින්ස් ලකුණු 24 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ලකුණු 100 සීමාව අභිබවා රැගෙන ගියා.

© BCCI

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් පන්දුවාර 2.3 ක් තුළ ලකුණු 19 කට කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙනුණා. මිචෙල් ස්ටක් ලකුණු 14 කට කඩුලු 2 ක් ද, හර්ෂිත් රානා ලකුණු 24 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් පිල පන්දුවාර 10.3 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගනිමින් 2024 අයි.පී.එල් ශූරයින් ලෙස කිරුළු පළදිනු ලැබුවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස සුනිල් නරේන් ලකුණු දෙකකට දවා ගැනීමට පැට් කමින්ස් සමත් වූ නමුත්, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා පන්දු 45 ක් තුළ ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට රහ්මනුල්ලාහ් ගුර්බාස් හා වෙන්කටේෂ් අයියර් සමත් වුණා.

අයියර් පන්දු 26 කින් වේගවත් ලකුණු 52 ක් නොදැවී ලබා ගත්තා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ගුර්බාස් පන්දු 32 කින් ලකුණු 39 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 5 ක් එල්ල කරමින්. නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 6 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...