මතීෂගේ හා වනිදුගේ තත්ත්වය? ධනංජය, දුනිත්, ජනිත් නම් කළේ ඇයි? කුසල්ට මොකද වුණේ? තරංග පිළිතුරු දෙයි

Date:

වත්මන් වෛද්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

තරගාවලියට නම් කෙරුණු සංචිතය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කිරීම සදහා අද(13) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

මතීෂ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුර දී පාදයක ආබාධයකට ලක් වූ අතර, ඒ හේතුවෙන් ඔහු පසුගියදා යළි දිවයිනට පැමිණියා.

මේ අතර, පාදයක ආබාධයක් හේතුවෙන් අයි.පී.එල් තරගාවලියම අහිමි වූ වනිදු හසරංග මේ වන විට ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සදහා සුදුසු ශාරීරික යෝග්‍යතාවයක සිටින බව ද තේරීම් කමිටු සභාපතිවරයා කියා සිටියා.

මේ අතර, ලෝක කුසලාන සංචිතය සදහා මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති දුනිත් වෙල්ලාලගේ නම් කිරීම සම්බන්ධයෙන් ද උපුල් තරංග කරුණු පැහැදිලි කළා.

ලෝක කුසලානය පැවැත්වෙන කොදෙව් දූපත්හි හා ඇමෙරිකාවේ තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් තරගවලදී දග පන්දු යවන්නන් දෙදෙනෙකු වෙනුවට දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වීමට ඉඩ ඇති බවයි තරංග පෙන්වා දුන්නේ.

ඒ අනුව අවශ්‍ය වුවහොත් වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ඉවත් කර ඒ වෙනුවට දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැදවීමේ අරමුණින් ඔහුව සංචිතයට නම් කළ බව සභාපතිවරයා කියා සිටියා.

එමෙන්ම දුනිත් වෙල්ලාලගේ වමත් දග පන්දු යවන්නෙකු බැවින් පවර්ප්ලේ අවස්ථාව තුළ ද පන්දු යැවීම සදහා ඔහුට අවස්ථාවක් පවතින බවට විශ්වාස කරන බවයි තරංග සදහන් කළේ.

මේ අතර, ධනංජය ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස දක්වන දක්ෂතා මෙන්ම කොදෙව් දූපත්හි හා ඇමෙරිකාවේ තණතීරුවල ස්වභාවය සැලකිල්ලට ගෙන ඔහුව අවසන් 15 දෙනා අතරට නම් කිරීමට තේරීම් කමිටුව තීරණය කළ බව ද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.

කෙසේ වෙතත්, ඔහුට මේ වන විට අතිරේක පිතිකරුවෙකු ලෙස සංචිතයේ රැදී සිටීමට සිදු වන බවයි ඔහු පෙන්වා දුන්නේ.

මේ අතර, කුසල් පෙරේරා සංචිතයට නම් නොකිරීම සම්බන්ධයෙන් ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.

කුසල් පෙරේරා දක්ෂ ක්‍රීඩකයෙකු වන නමුත්, අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තරගවලදී ඔහු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ බව පෙන්වා දුන් උපුල් තරංග සදහන් කළේ ඔහුව සංචිතයට නම් කිරීම සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වාම සාකච්ඡා සිදු වූ බවයි.

පුහුණුකරුගේ හා නායකයාගේ ද අදහස් ලබා ගැනීමෙන් පසුව ලෝක කුසලානය සදහා වන අවසන් සංචිතය මෙන්ම අතිරේක ක්‍රීඩකයින් නම් කළ බවත්, ජනිත් ලියනගේ අතිරේක ක්‍රීඩකයින් අතරට නම් කෙරුණේ ද ඔහු මෑතකදී දැක් වූ දක්ෂතා අනුව පුහුණුකරු හා නායකයා සිදු කළ ඉල්ලීමකට අනුව බවත් උපුල් තරංග සදහන් කර සිටියා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ජූනි පළමු වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(14) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...