වාර්ෂික යාවත්කාලීන කිරීම්වලින් පසු අලුත් වූ ටෙස්ට්, එක්දින, T20 ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

වාර්ෂික යාවත්කාලීන කිරීම් සිදු කිරීමෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට්, එක්දින හා විස්සයි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අද(3) නිවේදනය කළා.

2021 වසරේ මැයි මාසයේ සිට කණ්ඩායම් දක්වා ඇති දක්ෂතා පදනම් කර ගනිමිනුයි නව ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්

ඊට අනුව මෙතෙක් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසු වූ ඉන්දියාව දෙවැනි ස්ථානයට ඇදදමමින් ලෝක ටෙස්ට් ශූර ඔස්ට්‍රේලියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට ශ්‍රේණිගත ලකුණු 124 ක් හිමිව ඇති අතර, ඉන්දියාවට හිමිව ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 120 ක්. එම වෙනස හැරුණු විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ස්ථානවල වෙනත් කිසිදු වෙනසක් සිදුව නැහැ.

එංගලන්තය තෙවැනි ස්ථානයේ රැදී සිටින අතර, ඔවුන්ට ශ්‍රේණිගත ලකුණු 105 ක් හිමියි.

දකුණු අප්‍රිකාව (ශ්‍රේණිගත ලකුණු 103), නවසීලන්තය (96), පාකිස්තානය (89), ශ්‍රී ලංකාව (83) (7වැනි ස්ථානය), බටහිර ඉන්දීය කොදෙව්වන් (82) හා බංග්ලාදේශය (53) තවදුරටත් පිළිවෙලින් 4 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානය දක්වා රැදී සිටිනවා.

එක්දින ශ්‍රේණිගත කිරීම්

මේ අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය ඉන්දියාවට අහිමි වී ඇතත්, ඔවුන් තවදුරටත් එක්දින හා විස්සයි 20 තරග රටාවල සිය පෙරමුණ ආරක්ෂා කර ගැනීමට සමත්ව සිටිනවා.

එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දියාවට ශ්‍රේණිගත ලකුණු 122 ක් හිමිව ඇති අතර, දෙවැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවට (116) වඩා ඔවුන් මේ වන විට ශ්‍රේණිගත ලකුණු හයක් ඉදිරියෙන් පසුවනවා.

දකුණු අප්‍රිකාව ශ්‍රේණිගත ලකුණු 112 ක් ලබා තෙවැනි ස්ථානයේ පසුවන අතර, පාකිස්තානය (106) හා නවසීලන්තය (101) පිළිවෙලින් 4 වැනි හා 5 වැනි ස්ථානවල රැදී සිටිනවා.

7 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකාව (93) මේ වන විට 6 වැනි ස්ථානයේ පසුවන එංගලන්තයට (95) වඩා පිටුපසින් රැදී සිටින්නේ ශ්‍රේණිගත ලකුණු දෙකක් පමණයි.

බංග්ලාදේශය (86), ඇෆ්ඝනිස්තානය (80) හා බටහිර ඉන්දීය කොදෙව් (69) යන රටවල් පිළිවෙලින් 8 වැනි ස්ථානයේ සිට 10 වැනි ස්ථානය දක්වා රැදී සිටිනවා.

විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් 

අයි.සී.සී විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථානයේ පසුවන ඉන්දියාවට ශ්‍රේණිගත ලකුණු 264 ක් හිමිව තිබෙනවා. තෙවැනි ස්ථානයේ පසු වූ ඔස්ට්‍රේලියාව(257) දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, දෙවැනි ස්ථානයේ රැදී සිටි එංගලන්තය (252) තෙවැනි ස්ථානයට ඇද වැටී තිබෙනවා.

දකුණු අප්‍රිකාව (250) ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ සිව්වැනි ස්ථානයේ රැදී සිටින අතර, නවසීලන්තය (250) 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් පසු බැස ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

බටහිර ඉන්දීය කොදෙව්වන් (249) 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. පාකිස්තාන ශ්‍රේණිගත ලකුණු 247 ක් සමග 7 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන දෙකකින්.

ශ්‍රේණිගත ලකුණු 232 කට හිමිකම් කියන ශ්‍රී ලංකාව තවදුරටත් 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර, බංග්ලාදේශය (231) හා ඇෆ්ඝනිස්තානය (217) පිළිවෙලින් 9 වැනි හා 10 වැනි ස්ථානවල රැදී සිටිනවා.

මේ අතර, සිම්බාබ්වේ අභිබවා 12 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ස්කොට්ලන්තය සමත්ව තිබීම විශේෂත්වයක්.

රටවල් 86 ක් විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව ඇති අතර, අවසන් ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රොඒෂියාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...