ජනිත්ගේ ශතකය අපතේ යයි – ටන්සිඩ්ගේ හා රිෂාද්ගේ ප්‍රහාරය හමුවේ තරගාවලියේ ජය බංග්ලාදේශයට

Date:

ජනිත් ලියනගේ වාර්තා කළ සටන්කාමී ශතකය අපතේ යවමින් ටන්සිඩ් හසාන් ලබා ගත් ලකුණු 84 හා රිෂාද් හොසේන්ගේ වේගවත් ඉනිම හමුවේ ශ්‍රී ලංකාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම අද(18) සමත් වුණා.

බංග්ලාදේශය හමුවේ ශ්‍රී ලංකාව එක්දින තරගාවලියක් පරාජයට පත් වූ ඉතිහාසයේ දෙවැනි අවස්ථාව මෙයයි.

චිතගොංහි පැවැති තෙවැනි එක්දින තරගය ජය ගැනීම සදහා ලකුණු 236 ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය පන්දුවාර 40.2 ක් පමණක් වැය කරමින් කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සෞම්‍ය සාකාර් පන්දු රකිමින් සිටියදී සිදු වූ අනතුරක් හේතුවෙන් කම්පන තත්ත්වයකට ලක්වීම නිසා ඔහු වෙනුවට ඉනිම ආරම්භ කළ ටන්සිඩ් හසාන් පන්දු 81 කින් ලකුණු 84 ක් රැස් කළේ හයේ පහර 4ක් හා හතරේ පහර 9ක් සමගින්.

අනමුල් හක් ලකුණු 12 කටත්, නජ්මුල් හොසේන් ශන්තෝ එක් ලකුණකටත්, තව්හිද් හ්රිදෝයි ලකුණු 22 කටත්, මහ්මුදුල්ලාහ් එක් ලකුණකටත් දැවී ගියා.

කෙසේ වෙතත්, මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 37 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත ආරක්ෂා කිරීමට සමත් වූ අතර, මෙහිදි හසාන් මිරාස් ලකුණු 25 ක් ලබා ගැනීමට සමත් වුණා.

ලකුණු 178 දී මෙහිදී හසාන් ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දැවී යාමත් සමග ශ්‍රී ලංකාව සටනට යළි අවතීර්ණ වීමට උත්සාහ දැරූ නමුත්, අනතුරුව පන්දුවට පහර දීම සදහා පිටියට පිවිසි රිෂාද් හොසේන් පන්දු 18 කින් නොදැවී ලකුණු 48 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ සියලු බලාපොරොත්තු සුන් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් ඇතුළත්. පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 48 කට කඩුලු 4ක් දවා ගත් අතර, වනිදු හසරංග කඩුලු දෙකක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 235 ක් ලබා ගත්තේ සියලු දෙනා දැවී යමින්.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය එක් ලකුණට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණකට දැවී ගියා. ටස්කින් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු දැවී ගිය නමුත්, පුනරූපනවලින් දක්නට ලැබුණේ එය නොදැවී යාමක් බවයි. කෙසේ වෙතත්, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ එම විනිසුරු තීරණය පැතුම් අභියෝගයට ලක් නොකිරීම නිසා ඔහුට ක්‍රීඩාගාරය බලා පිටත්ව යාමට සිදු වුණා.

යළි අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 4කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 14 යි. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29 ක් ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 37 ක් ලබා සිටියදී දැවී ගියා. දුනිත් වෙල්ලාලගේ ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. වනිදු හසරංග ලබා ගත් ලකුණු සංඛ්‍යාව 11 ක්.

අනෙක් අන්තයෙන් කඩුලු එකින් එක බිද වැටෙද්දී හුදෙකලා සටනක නිරත වෙමින් අංක 6 පිතිකරු වූ ජනිත් ලියනගේ ශ්‍රී ලංකා පිල සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ පන්දු 102 කින් නොදැවී ලකුණු 101 ක් ලබා ගනිමින්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 11 ක් ඇතුළත්.

ඉනිමේ හොදම සම්බන්ධතාවය ජනිත් හා මහීෂ් තීක්ෂණ අතර ගොඩ නැගුණේ 7 වැනි කඩුල්ල ලකුණු 154 දී බිද වැටීමෙන් පසුවයි. ඔවුන් දෙදෙනා 8 වැනි කඩුල්ලට ලකුණු 60 (78) ක වටිනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. තීක්ෂණ ලකුණු 15 යි.

පන්දු යැවීමේ දී ටස්කින් අහ්මඩ් ලකුණු 42 කට කඩුලු 3ක් දවා ගත් අතර, මුස්ටර්ෆිසුර් රහ්මාන් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...