ලයන්ගේ කඩුලු 10 හමුවේ ඔස්ට්‍රේලියාවට ලකුණු 172 ක ජයක්

Date:

නේදන් ලයන් දවා ගත් කඩුලු 10 හමුවේ නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 172 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(3) සමත් වුණා.

වෙලින්ටන් හී දී පැවැති තරගයේ සිව්වැනි දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 369 ක ඉලක්කයක් හඹා යමින් සිටි නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 111 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණේ ලකුණු 196 කටයි.

නවසීලන්තය ජයග්‍රහනය පිළිබද යම් බලාපොරොත්තුවක් සහිතව අද දිනය ආරම්භ කළ නමුත්, මුළු ලකුණු සංඛ්‍යාව 126 දී රචින් රවීන්ද්‍ර ලකුණු 59 කට දවා ගැනීමට නේදන් ලයන් සමත් වීමත් සමග නවසීලන්ත ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා.

එම පන්දුවාරයේ දී ම ලයන් විසින් ටොම් බ්ලන්ඩල් ලකුණු නොලබා සිටියදී දවා ගත්තා. ඔහු ඉන් අනතුරුව යොමු කළ පන්දුවාරයේ දී ග්ලේන් පිලිප්ස් දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීයි.

අද පෙරවරුවේ සිටම අනෙක් අන්තයේ කඩුලු එකින් එක බිද වැටෙන අයුරු නරඹමින් සිටි ඩැරල් මිචෙල් ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ලකුණු 38 ක් ලබා සිටියදී දැවී ගියා.

පන්දු යැවීමේ දී නේදන් ලයන් ලකුණු 65 කට කඩුලු හයක් දවා ගත් අතර, ඔහු පළමු ඉනිමේ දී කඩුලු 4ක් දවා ගත්තා. ඒ අනුව 2006 වසරෙන් පසුව නවසීලනත්යේ දී ටෙස්ට් තරගයකදී කඩුලු 10 ක් දවා ගත් පළමු දග පන්දු යවන්නා වන්නේ ඔහුයි. මීට පෙර 2006 වසරේ දී එම දක්ෂතාවය දක්වා තිබුණේ මුත්තයියා මුරලිදරන් විසිනුයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 383 ක් රැස් කළේ කැමරන් ග්‍රීන් නොදැවී වාර්තා කළ ලකුණු 174 න් ශක්තිමත් වෙමින්.

පිළිතුරු ලෙස නවසීලන්තය රැස් කළේ ලකුණු 179 ක් පමණයි. ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම සියලු දෙනා දැවී ලකුණු 164 ක් ලෙස සටහන් වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 8 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...