Day 2 Report : රූට් හා බෂීර් තරගයේ පාලනය එංගලන්තයට නතු කරයි

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(24) රංචි හී දී නිමා වුණේ තරගයේ පාලනය එංගලන්තය වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 219 ක්. ඒ, කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය රැස් කළ ලකුණු 353 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 134 ක්.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියා. දිනයේ පළමු කඩුල්ල ලෙස ඔලී රොබින්සන් ලකුණු 58 කට දැවී ගියා.

රොබින්සන් හා ජෝ රූට් අතර 8 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු අගනා සම්බන්ධතාවය ලකුණු 102 (163) ක්. ලකුණු 112 කට කඩුලු 5ක් දැවී ගිය පසුබිමක එංගලන්තය ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට මෙම සම්බන්ධතාවය හා රූට් සමග බෙන් ෆෝක්ස් 6 වැනි කඩුල්ලට ගොඩ නැගූ ලකුණු 113 (261) ක සම්බන්ධතාවය හේතු වුණා.

ජෝ රූට් නොදැවී ලකුණු 122 ක් ලබා ගත්තා. පන්දු 274 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත්. බෙන් ෆෝක්ස් ලකුණු 47 යි. ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි ලකුණු 42 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 67 කට කඩුලු 4ක් දවා ගත් අතර, මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ආකාශ් දීප් ලකුණු 83 කට කඩුලු 3ක් බිද හෙලුවා. මොහමඩ් සිරාජ් කඩුලු දෙකක් ද, රවිචන්ද්‍රන් අශ්වින් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළේ සුපුරුදු පරිදි රෝහිත් ෂර්මා සමගින් යශස්වි ජයිස්වාල්. නායක රෝහිත් ලකුණු දෙකකට දැවී ගියේ ජේම්ස් ඇන්ඩර්සන්ගේ පන්දුවක් හමුවේයි.

ෂුබ්මන් ගිල් ලකුණු 38 ක්, රාජත් පටිදර් ලකුණු 17 ක් හා රවීන්ද්‍ර ජඩේජා ලකුණු 12 ක් ලබා ගත්තා. මෙම තරගයේ දී ද සාර්ථක පිතිහරඹයක නිරත වූ ජයිස්වාල් ලකුණු 73 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 8ක් සමගින්.

සර්ෆරාස් ඛාන් ලකුණු 14කටත්, රවිචන්ද්‍රන් අශ්වින් එක් ලකුණකටත් දවා ගැනීමට එංගලන්තය සමත් වුණා. ධරුව් ජුරෙල් (Dhruv Jurel) නොදැවී ලකුණු 30 ක් හා කුල්දීප් යාදව් නොදැවී ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ශොයිබ් බෂීර් ලකුණු 84 කට කඩුලු 4 ක් දවා ගත්තා. ටොම් හාර්ට්ලි කඩුලු දෙකක් බිද හෙලුවේ ලකුණු 47 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...