සධීරගේ හා මැතිව්ස්ගේ සුපිරි දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව T20 තරගාවලියේ ජය තහවුරු කර ගනියි

Date:

සධීර සමරවික්‍රමගේ විශිෂ්ඨ පිතිහරඹය හා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 72 ක ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් තරගාවලියේ ජය ද තරගයක් ඉතිරිව තිබියදීම තහවුරු කර ගැනීමට (2-0) ශ්‍රී ලංකා කණ්ඩායම අද(19) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 187 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.

මෙම තරගයේ දී වනිදු හසරංග තම 100 වැනි 20යි 20 ජාත්‍යන්තර කඩුල්ල දවා ගැනීම ද කැපී පෙනුණා. එම කඩඉමට ළගා වූ දෙවැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ ඔහුයි. එමෙන්ම 20යි 20 ජාත්‍යන්තර කඩුලු 100 ක් දවා ගත් ලොව දෙවැනි වේගවත්ම පන්දු යවන්නා බවට ද ඔහු පත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ලට පන්දුවාර 3.5 ක් තුළ ලකුණු 45 ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, පැතුම් ලකුණු 25(පන්දු 11) කටත්, මෙන්ඩිස් ලකුණු 23(14) කටත් දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 14(14) යි.

නායක වනිදු හසරංග පන්දු 9කින් ලකුණු 22 ක් ලබා ගත්තා. චරිත් අසලංක ලකුණු 4යි. අනතුරුව හය වැනි කඩුල්ල ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යනතුරු සධීර සමරවික්‍රම හා ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 34 කින් ලකුණු 66ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

සධීර පන්දු 42 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 51 ක්. හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඉනිමට වේගවත් අවසානයක් හිමි කර දුන් මැතිව්ස් පන්දු 22 කින් නොදැවී ලකුණු 42 ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර දෙකක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඔමර්සායි හා මොහමඩ් නබී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන පිලේ වැඩිම ලකුණුලාභියා වූයේ කරීම් ජනට්. ඔහු ලකුණු 28 කට දැවී ගිය අතර, මොහමඩ් නබී ලකුණු 27 ක් රැස් කළා.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ පළමු කඩුලු පහ පන්දුවාර 4.3 ක් තුළ ලකුණු 31 ක් තුළ දැවී යාම ඇෆ්ඝනිස්තානය තරගයෙන් පරාජයට පත් වීමට බෙහෙවින් බලපෑවා.

පන්දු යැවීමේ දී ඇන්ජෙලෝ මැතිව්ස්, බිනුර ප්‍රනාන්දු, වනිදු හසරංග හා මතීෂ පතිරණ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

දෙරට අතර පැවැත්වෙන අවසන් විස්සයි 20 තරගය එළඹෙන 21 වැනිදා දඹුල්ලේ දී ම පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...