පැතුම්ගේ ශතකය හා අවිශ්කගේ 91 හමුවේ ශ්‍රී ලංකාවට 3-0 ක තරගාවලි ජයක්

Date:

පැතුම් නිස්සංක වාර්තා කළ සිය 5 වැනි එක්දින ශතකය හා ඔහු සමග ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දුගේ අනර්ඝ අර්ධ ශතකය හමුවේ ඇෆ්ඝනිස්තානය සමග පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 3-0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(14) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ඇෆ්ඝනිස්තානයෙන් ලද ලකුණු 267 ක ඉලක්කය ශ්‍රී ලංකාව සපුරා ගත්තේ පන්දුවාර 35.2 ක් අවසානයේ දී කඩුලු තුනක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා පැතුම් හා අවිශ්ක අතර පන්දුවාර 23 කින් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 173 ක්. අවිශ්ක පන්දු 66 කින් වේගවත් ලකුණු 91 ක් ලබා සිටියදී දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 10 ක් ඇතුළත්.

මෙවර තරගාවලියේ පළමු තරගයේ දී ද්විත්ව ශතකයක් වාර්තා කළ පැතුම් මෙම තරගයේ දී ද ශතකයක් වාර්තා කරමින් පන්දු 101 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 118 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 16 ක් ඇතුළත් වුණා.

ඔහු මෙම තරගයේ දී වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 2,000 ක් වාර්තා කළ වේගවත්ම (අවම ඉනිම් සංඛ්‍යාවකින්) පිතිකරුවා ලෙසයි. පැතුම් ඉනිම 52 කදී එම කඩඉමට ළගා වූ අතර, මීට පෙර ඉනිම් 63 කින් එම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණේ වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා වන උපුල් තරංගයි.

එමෙන්ම තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද පැතුම් අද සිය නම ඉදිරියේ සටහන් කර ගත්තා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 40 ක් අද වාර්තා කළේ හයේ පහර 4 ක් ද සමගින්. පන්දු යැවීමේ දී කායිස් අහ්මඩ් ලකුණු 46 කට කඩුලු දෙකක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 266 ක් ලබා ගත්තේ පන්දුවාර 48.2 ක් අවසානයේ දී යි.

රහ්මට් ශාහ් ලකුණු 65 ක් හා අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 54 ක් ලබා ගත්තා. රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 48 යි.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුෂාන් ලකුණු 45 කට කඩුලු 3ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ හා අකිල ධනංජය කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...