“සුපිරි පන්දුවාර” දෙකකින් පසු ඉන්දියාව හමුවේ ඇෆ්ඝනිස්තානය පරදියි (දර්ශන සහිතයි)

Date:

සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් දෙවැනි සුපිරි පන්දුවාරයේ දී ජය වාර්තා කරමින් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 213 ක ඉලක්කයක් ඇෆ්ඝනිස්තානයට හිමි වූ නමුත්, ඔවුන්ට ද පන්දුවාර 20 අවසානයේ දී ලබා ගත හැකි වූයේ ඉන්දියාව රැස් කළ ලකුණු 212 ක ලකුණු සංඛ්‍යාව පමණයි.

අනතුරුව ජයග්‍රාහකයා තේරීම සදහා සුපිරි පන්දුවාරයක් ලබා දුන් අතර, එම සුපිරි පන්දුවාරයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 16 ක් රැස් කළා. පිළිතුරු ලෙස ඉන්දියාව ද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16 ක්.

ඒ හේතුවෙන් ජයග්‍රාහකයා තේරීම සදහා තවත් සුපිරි පන්දුවාරයක් ලබා දුන් අතර, එහි පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දු 5ක් තුළ කඩුලු දෙකම දැවී ලකුණු 11 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානයේ කඩුලු දෙකම එක් ලකුණක් තුළ දැවී ගියේ පන්දු 3ක් තුළයි. ඒ අනුව දෙවැනි සුපිරි පන්දුවාරයේ දී තරගයේ ජය ඉන්දියාව හිමි කර ගත්තා.

බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ, ඉන්දීය ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 22 ක් තුළ දවා ගනිමින්.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක නායක රෝහිත් ෂර්මා හා රින්කු සිං පන්දු 95 කින් ලකුණු 190 ක නොබිදුණු සම්බන්ධතාවයක් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නගමින් නියමිත පන්දුවාර 20 අවසානයේ දී ඉන්දීය ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 212 ක් දක්වා රැගෙන යාමට සමත් වුණා.

ඉන්දීය ඉනිම වෙනුවෙන් පළමු තරග දෙකේ දී ම ලකුණු නොලබා දැවී ගිය නායක රෝහිත් ෂර්මා පන්දු 69 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 121 ක්. හයේ පහර අටක් හා හතරේ පහර 11 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා. රෝහිත් අද වාර්තා කළේ සිය 5 වැනි 20යි 20 ජාත්‍යන්තර ශතකයයි. ඒ අනුව ඔහු මේ වන විට වාර්තා අතරට එක්ව ඇත්තේ වැඩිම 20යි 20 ජාත්‍යන්තර ශතක ප්‍රමාණයක් රැස් කළ පිතිකරුවා ලෙසයි.

රින්කු සිං පන්දු 39 කින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69 ක්. හයේ පහර හයක් හා හතරේ පහර දෙකක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඉනිමේ අවසන් පන්දුවාරයට රෝහිත් හා රින්කු හයේ පහර පහක් ද සමග ලකුණු 36 ක් වාර්තා කිරීම ද කැපී පෙනුණා.

රෝහිත් හා රින්කු අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු ලකුණු 190*ක සම්බන්ධතාවය ඉන්දියාව වෙනුවෙන් 20යි 20 තරගයකදී ඕනෑම කඩුල්ලක් සදහා ගොඩ නැගුණු හොදම සම්බන්ධතාවයයි. එමෙන්ම 5 වැනි කඩුල්ල සදහා 20යි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා වූ හොදම සම්බන්ධතාවය ද එයයි.

පන්දු යැවීමේ දී ෆරීඩ් අහ්මඩ් ලකුණු 20 කට කඩුලු තුනක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් හා නායක ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 50 බැගින් ලබා ගත්තා. අංක 3 පිතිකරු ගුල්බදීන් නයිබ් පන්දු 23 කින් හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 55 ක්. මොහමඩ් නබී ලකුණු 34(16) යි.

අවසන් පන්දුවාරයට තරගය ජය ගැනීම සදහා ඇෆ්ඝනිස්තානයට ලකුණු 19ක් අවශ්‍ය වූ පසුබිමකයි ගුල්බදීන් නයිබ් ලකුණු 18 ක් ලබා ගනිමින් ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට රැගෙන යාමට සමත් වුණේ.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 18 කට කඩුලු තුනක් දවා ගත්තා.

සුපිරි පන්දුවාර දෙකේ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...