රිස්වාන්ගේ ආන්දෝලනාත්මක දැවී යාම හමුවේ ඔස්ට්‍රේලියාවට ලකුණු 79 ක ජයක්

Date:

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 79 ක ජයක් වාර්තා කරමින් තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(29) සමත් වුණා.

මෙල්බර්න් හී දී බොක්සිං දින ටෙස්ට් තරගයක් ලෙස පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 317 ක ඉලක්කයක් හඹා ගිය පාකිස්තානයට තරගයේ සිව්වැනි දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ ලකුණු 237 ක් පමණයි.

ශාන් මසූඩ් ලකුණු 60(71) ක්, ආගා සල්මන් ලකුණු 50(70) ක්, බාබර් අසාම් ලකුණු 41 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 35 රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ.

පාකිස්තානය එක් අවස්ථාවක කඩුලු 5ක් දැවී ලකුණු 219 ක් ලබා සිටි අතර, ජයග්‍රහනය සදහා අවශ්‍ය වූයේ ලකුණු 98 ක් පමණයි.

අද දිනය සදහා තරගය නතර කිරීමට නියමිතව තිබූ වේලාවට මිනිත්තු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු රකින ක්‍රීඩක ඇලෙක්ස් කෙරීට උඩ පන්දුවක් ලබා දීමෙන් මොහමඩ් රිස්වාන් දැවී ගිය බවට තෙවන විනිසුරු විසින් තීරණය කිරීම ආන්දෝලනාත්මක දැවී යාමක් බවට පත් වුණා.

අනතුරුව ඔස්ට්‍රේලියාව විසින් අද දිනයේ දීම තරගය ජය ගැනීමේ අරමුණින් අතිරේක මිනිත්තු 30 ක කාලය ද ලබා ගත් අතර, පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 5 දැවී ගියේ ලකුණු 18 ක් තුළයි.

පන්දු යැවීමේ දී පැට් කමින්ස් ලකුණු 49 කට කඩුලු 5ක් දවා ගත් අතර, මිචෙල් ස්ටක් ලකුණු 55 කට කඩුලු 4 ක් දවා ගත්තා. මෙම තරගයේ දී කඩුලු 10 ක් දවා ගත් කමින්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

සිව්වැනි දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්.

ඇලෙක්ස් කෙරී ලකුණු 53 ක් ලබා සිටියදී ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියා. මිචෙල් මාෂ් ලකුණු 96 ක් ලබා ගත් අතර, ස්ටීවන් ස්මිත් ලකුණු 50 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි හා මීර් හම්සා කඩුලු 4 බැගින් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 318 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 264 ක්.

මේ අතර, අද ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම අතරතුර දී පැට් කමින්ස් හා ඇලෙක්ස් කෙරී දිව ගොස් ලකුණු පහක් ලබා ගැනීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...