“කණ්ඩායමක් හා ක්‍රීඩකයෙක් මෙච්චර පහත් තත්ත්වයකට වැටෙනවා මම දැකලා නෑ” : මැතිව්ස්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති ලෝක කුසලාන තරගයේ දී තමාව දවා ගැනීම සදහා බංග්ලාදේශ කණ්ඩායම හා නායක ශකිබ් අල් හසාන් ක්‍රියා කළ ආකාරය පිළිබද තමා දැඩි කනගාටුවට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

තරගාවලියේ 38 වැනි තරගයෙන් බංග්ලාදේශය හමුවේ කඩුලු තුනක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් මැතිව්ස් ඒ බව සදහන් කළා.

සිය 15 වසරක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ක්‍රීඩකයෙකු හා කණ්ඩායමක් මෙතරම් පහත් තත්ත්වයකට ඇද වැටෙන අයුරු තමා කිසි දිනක දැක නොමැති බවයි මැතිව්ස් කියා සිටියේ.

“මම විනාඩි දෙක ඇතුළත ක්‍රීස් එකට ගිහිල්ලා ක්‍රීස් එකේදි තමයි මගේ හෙල්මට් එක ගැලවුණේ.” යනුවෙන් මැතිව්ස් මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.

“ඒක හොදටම විනිසුරුවන් දැක්කා. මට තව තත්ත්පර 5 ක් තිබ්බා හෙල්මට් එක කැඩුනට පස්සෙත්. ඉතිං හෙල්මට් එක පෙන්නුවාම පස්සේ ටික වෙලාවකින් විනිසුරුවන් කියනවා එයාලා ඇපීල් කරා කියලා. මම ඇහුවා මේකෙ කොමන් සෙන්ස් එක කොහෙද?, මොකද මගේ විනාඩි දෙක පැනලත් නෑ. ඔක්කොම වීඩියෝ සාක්ෂිත් එක්කම තියෙනවා.

“ඊට පස්සේ විනිසුරුවන් දැන් කෝචර්ස්ලට කියලා තියෙනවා ඒගොල්ලන්ට ආයෙ චෙක් කරන්න තිබුණා කියලා. දෙයක් වුණාට පස්සේ වැඩක් නෑ. ඒ වෙලාවේ චෙක් කරන්න තමයි ඕනෙ. මොකද තාක්ෂණය තියෙනවා, විනිසුරුවන්ට බලන්න පුලුවන් ඒ වෙලාව. මගේ අවුරුදු 15 ක කාලයේ මෙච්චර මම හිතන්නේ….. මට ඒක කියන්න වචනයක් නෑ, මගේ අවුරුදු 15 මම දැකලා නෑ මෙච්චර පහත් තත්ත්වයකට වැටෙනවා කණ්ඩායමක් හා ක්‍රීඩකයෙක්.

“අවාසනාවකට මේක [හිස් ආවරණය කැඩීම] බංග්ලාදේශයට එරෙහිවයි සිදු වුණේ. මම හිතන්නේ නෑ වෙන කිසිම කණ්ඩායමක් මෙහෙම දෙයක් කරයි කියලා.”

‘Timed out’ හෙවත් පිතිකරුවෙකු දැවී ගිය පසු නියමිත කාලය තුළ නවක පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානම්ව නොසිටීම හේතුවෙන් දැවී ගිය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත් වෙමිනුයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ(6) දැවී ගියේ.

කඩුල්ලක් දැවී යාමෙන් පසුව පිටියට පිවිසෙන නවක පිතිකරුවා ටෙස්ට් හා එක්දින තරගවලදී මිනිත්තු දෙකක් තුළ දී පන්දුවට පහර දීමට සූදානමින් සිටිය යුතු වනවා.

ඊයේ තරගයේ ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සධීර සමරවික්‍රම දැවී යාමෙන් පසුව ඇන්ජෙලෝ මැතිව්ස් පිටියට පිවිසි නමුත්, ඔහුට පළමු පන්දුවට මුහුණ දීම සදහා නියමිත කාලය තුළ දී නොහැකි වූයේ ඔහුගේ හිස් ආවරණයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන්. ඒ අනුව ඔහු පළමු පන්දුවට මුහුණ දීමට පෙර සිය හිස් ආවරණය මාරු කිරීමට කටයුතු කළා.

නමුත් අතිරේක ක්‍රීඩක චාමික කරුණාරත්න විසින් නව හිස් ආවරණය පිටියට රැගෙන ඒමත් සමග බංග්ලාදේශ නායක ශකිබ් අල් හසාන් විසින් මැතිව්ස් දැවී ගිය අයෙකු ලෙස නම් කරන්නැයි විනිසුරුවන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අනුවයි ඔහුට දැවී ගිය පිතිකරුවෙකු ලෙස කිසිදු පන්දුවකට මුහුණ නොදී යළි ක්‍රීඩාගාරය වෙත පිටත්ව යාමට සිදු වූයේ.

මේ අතර, මැතිව්ස්ගේ හිස් ආවරණය කැඩී යන අවස්ථාව වන විටත් මිනිත්තු දෙකක කාලය ඉක්මවා තිබූ බව සිව්වැනි විනිසුරු විසින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශය ද ඇන්ජෙලෝ මැතිව්ස් ප්‍රතික්ෂේප කරමින් වීඩියෝ සාක්ෂි ද සහිතව ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...