සුපුරුදු දුර්වල පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක් ; අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දැඩි අවධානමක

Date:

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හමුවේ මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකා බලාපොරොත්තු දැඩි අවධානමකට ඇදදමමින් තරගාවලියේ 30 වැනි තරගයෙන් ඇෆ්ඝනිස්තානය හමුවේ කඩුලු 7 ක පරාජයක් අත්විදීමට ශ්‍රී ලංකාවට අද (30) සිදු වුණා.

පූනේ හී දී පැවැති තරගය ජය ගැනීමට ලකුණු 242 ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ඝනිස්තානය පන්දු 28 ක් ඉතිරිව තිබියදී කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම ඩිල්ෂාන් මදුෂංකගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ලකුණු නොලබා දැවී ගිය අතර, අනතුරුව දෙවැනි කඩුල්ල සදහා රහ්මට් ෂාහ් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 73 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

සඩ්‍රාන් ලකුණු 39 කටත්, රහ්මට් ලකණු 62 කටත් දැවී ගියා. රහ්මට් හා හෂ්මතුල්ලාහ් ශහීඩි තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 58 ක්.

ශහීඩි හා අස්මතුල්ලාහ් ඔමර්සායි සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 111 ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

ශහීඩි නොදැවී ලකුණු 58 ක් හා ඔමර්සායි නොදැවී ලකුණු 73 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහනය උදුරා ගත්තා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක් හා කසුන් රාජිත කඩුල්ලක් දවා ගත්තා.

පූනේ හී දී ආරම්භ වූ තරගයේ දී කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 241 ක් පමණයි.

පැතුම් නිස්සංක ලකුණු 46 ක් රැස් කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 39 කට දැවී ගියා. සධීර සමරවික්‍රම ලකුණු 36 යි. ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම පාහේ හොද ආරම්භයක් ලබා ගත් නමුත්, කිසිදු පිතිකරුවෙකු එය දිගු ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට සමත් නොවීම තරගයේ පරාජයට බලපානු ලැබුවා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි ලකුණු 34 කට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

මෙම ජයත් සමග ඇෆ්ඝනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ ‌5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණි අතර, ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානය දක්වා පසු බැස්සා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...