වෝනර්, මැක්ස්වෙල් හා සම්පා නෙදර්ලන්තයට වාර්තාගත පරාජයක් උරුම කරයි

Date:

ඩේවිඩ් වෝනර් හා ග්ලේන් මැක්ස්වෙල් රැස් කළ සුපිරි ශතක හමුවේ වාර්තා රැසක් අලුත් කරමින් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 309 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(25) සමත් වුණා.

මෙම ජයග්‍රහනය ඉතිහාසගත වුණේ ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් තරගයක් ජය ගත් ඉහළම ලකුණු පරතරය ලෙසයි.

දිල්ලි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 50 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 399 ක් රැස් කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත පිලේ සියලු පිතිකරුවන් පන්දුවාර 21 ක් තුළ ලකුණු 90කට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

ඇඩම් සම්පා පන්දුවාර 3 ක් යොමු කරමින් ලකුණු 8කට කඩුලු 4 ක් දවා ගැනීම විශේෂත්වයක්. නෙදර්ලන්තය වෙනුවෙන් වික්‍රම්ජිත් සිං ලකුණු 25 ක් ලබා ගත් අතර, තේජා නිදමනුරු ලකුණු 14 කට දැවී ගියා.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් පන්දු 93 කින් ලකුණු 104 ක් රැස් කළ අතර, ග්ලේන් මැක්ස්වෙල් පන්දු 44 ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 106 ක් ලබා ගත්තා.

මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 8 ක් හා හතරේ පහර 9ක් ඇතුළත්. ඔහු සිය ශතකය පන්දු 40 කින් වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.

මැක්ස්වෙල් සිය පළමු පන්දු 20 තුළ දී රැස් කර තිබුණේ ලකුණු 34 ක් පමණයි. අනතුරුව ඔහු මුහුණ දුන් පන්දු 20 තුළ දී මැක්ස්වෙල් ලකුණු 67 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා. මීට පෙර ලෝක කුසලාන තරගයක වේගවත්ම ශතකය වාර්තා කර තිබුණේ දකුණු අප්‍රිකාවේ ඒඩ්න් මාක්‍රම් විසින්. ඔහු මෙවර තරගාවලියේ දී දිල්ලි හී දී ම පැවැති ශ්‍රී ලංකාවට එරෙහි තරගයේ දී පන්දු 49 කින් ශතකයක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

අද තරගයේ අවසන් පන්දුවාර 10 තුළ දී ඔස්ට්‍රේලියාව කඩුලු 3 ක් දැවී ලකුණු 131 ක් ලබා ගැනීම ද කැපී පෙනුණා.

වෝනර් හා මැක්ස්වෙල් වාර්තා කළ ශතකවලට අමතරව ස්ටීවන් ස්මිත් ලකුණු 71 ක් හා මර්නස් ලබුෂේන් ලකුණු 62 ක් වාර්තා කරමින් ඔස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Logan van Beek ලකුණු 74 කට කඩුලු 4 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...