ස්ටොක්ස්ගේ වාර්තාගත 182 හමුවේ නවසීලන්තයට ලකුණු 181 ක පරාජයක්

Date:

එංගලන්තය වෙනුවෙන් එක්දින ඉනිමකදී පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව සිය නම ඉදිරියෙන් සටහන් කර ගනිමින් බෙන් ස්ටොක්ස් ක්‍රීඩා කළ සුපිරි ඉනිම හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 4 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ලකුණු 181 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස පෙරමුණ ගැනීමට ද මේ වන විට සත්කාරක කණ්ඩායම සමත්ව සිටිනවා.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 48.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 368 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා. ඒ, ඉනිමේ පළමු පන්දුවෙන්ම ජොනී බෙයාර්ස්ටව් දැවී ගිය පසුබිමකයි.

බෙන් ස්ටොක්ස් හා ඩේවිඩ් මලාන් තෙවැනි කඩුල්ල සදහා ලකුණු 199 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා. මලාන් ලකුණු 96 කට දැවී ගිය අතර, ස්ටොක්ස් පන්දු 124 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 182 ක්.

හයේ පහර 9 ක් හා හතරේ පහර 15 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඔහු සිය සිව්වැනි එක්දින ශතකය වාර්තා කළේ පන්දු 76 කින්.

මීට පෙර එක්දින ඉනිමකදී එංගලන්තය වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ ජේසන් රෝයි විසින්. ඔහු 2018 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 180 ක් වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියා තිබුණා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 51 කට කඩුලු 5 ක් දැවී ගැනීම ද කැපී පෙනුණා.

නවසීලන්ත පිළිතුරු ඉනිම පන්දුවාර 39 ක් තුළ අවසන් වුණේ ලකුණු 187 කට සියලු පිතිකරුවන් දැවී යාමත් සමගයි.

ග්ලේන් පිලිප්ස් ලකුණු 72 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...