ලබුෂේන්ගෙන් තේරීම් කමිටුවට කනේ පහරක් ; ඔස්ට්‍රේලියාවට අනපේක්ෂිත ජයක්

Date:

තමාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව ගත් තීරණයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 3 ක විශිෂ්ඨ ජයක් සදහා සිය කණ්ඩායම රැගෙන යාමට මර්නස් ලබුෂේන් සමත් වුණා.

දකුණු අප්‍රිකාවේ Bloemfontein හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 222 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිමේ දී තරගයේ පරාජය පෙනි පෙනී තිබූ අවස්ථාවක අංක 8 පිතිකරු ලෙස කැමරන් ග්‍රීන් වෙනුවට ක්‍රීඩක ආදේශ කිරීමක් ලෙස (concussion substitute) පිටියට පිවිසි ලබුෂේන් 8 වැනි කඩුල්ල සදහා ඇෂ්ටන් ඒගාර් සමග එක්ව ලකුණු 112* (145) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණේ සිය කණ්ඩායමට අනපේක්ෂිත ජයක් හිමි කර දෙමින්.

අංක 4 පිතිකරු වූ ග්‍රීන් කම්පන තත්ත්වයකට මුහුණ දුන්නේ 6 වැනි පන්දුවාරයේ දී කාගිසෝ රබාඩා යොමු කළ පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන්. ඒ වන විට පන්දු දෙකකට මුහුණ දී ඔහු කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 7 වැනි කඩුල්ල ලකුණු 113 දී බිද වැටුණා. කෙසේ වෙතත්, සටන අත්නොහැරූ ලබුෂේන් පන්දු 93 කින් නොදැවී ලකුණු 80 ක් රැස් කළේ හතරේ පහර 8ක් සමගින්.

ඒගාර් නොදැවී ලකුණු 48(69) යි. හයේ පහරක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ඒ අනුව ඔස්ට්‍රේලියාව ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 40.2 ක් අවසානයේ දී කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ ඩේවිඩ් වෝනර් ලකුණු නොලබාත්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 33 කටත් දැවී ගියා. නායක මිචෙල් මාෂ් ලකුණු 17 යි. ජොෂ් ඉන්ග්ලිස් එක් ලකුණකටත්, ඇලෙක්ස් කෙරී ලකුණු 3කටත් (දර්ශන පහතින් නරඹන්න), මර්කස් ස්ටොයිනිස් ලකුණු 17 කටත් දැවී ගියා. ශෝන් ඇබෝට් ලකුණු 9යි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා හා ජෙරාල්ඩ් කොට්සී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වූ නායක ටෙම්බා බවුමා පන්දු 142 කින් නොදැවී ලකුණු 114 ක් රැස් කළා. ක්වෙන්ටන් ඩී කොක් සමග ඉනිම ආරම්භ කළ බවුමා සිය ඉනිම හයේ පහරකින් හා හතරේ පහර 14 කින් වර්ණවත් කළා. මාර්කෝ ජන්සෙන් ලකුණු 32 යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 41 කට කඩුලු 3 ක් දවා ගත් අතර, මර්කස් ස්ටොයිනිස් ලකුණු 20 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට ඔස්‍ට්‍රේලියාව ඉදිරියෙන් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...