CPL පිටියට රතු කාඩ් පත් හදුන්වා දෙයි ; මේ වරද කළොත් ක්‍රීඩකයෙකු කෙළින්ම එළියේ

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) (පිරිමි හා කාන්තා) ක්‍රිකට් තරගාවලිය සදහා නව නීති කිහිපයක් හදුන්වා දීමට තරගාවලියේ සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගන්නේ නම් පන්දු රකින කණ්ඩායමට එරෙහිව රතු කාඩ් පතක් ද නිකුත් කරමින් පන්දු රකින්නෙකු පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවන් මෙවර තරගාවලියේ දී කටයුතු කරනු ඇති.

තරගයක 18 වැනි පන්දුවාරය නියමිත වේලාවේ දී හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේනම් එක් අමතර පන්දු රකින්නෙකු යාර 30 පන්දු රැකීමේ සීමාව තුළට (fielding circle) කැදවීමට පන්දු රැකීමේ කණ්ඩායමට සිදු වනවා. ඒ අනුව පන්දු රකින්නන් සිව් දෙනෙකු වෙනුවට 5 දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුයි.

19 වැනි පන්දුවාරය නියමිත වේලාවේ දී හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේනම් අමතර පන්දු රකින්නන් දෙදෙනෙකු යාර 30 පන්දු රැකීමේ සීමාව තුළට (fielding circle) කැදවීමට පන්දු රැකීමේ කණ්ඩායමට සිදු වනවා. ඒ අනුව එහිදී පන්දු රකින්නන් 6 දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුයි.

අවසන් (20 වැනි) පන්දුවාරය නියමිත වේලාවේ දී හෝ ඊට පෙර ආරම්භ නොකරන්නේනම් රතු කාඩ් පත නිකුත් කරමින් එක් පන්දු රකින්නෙකු ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට විනිසුරු කටයුතු කරනවා. කෙසේ වෙතත්, එහිදී ද පන්දු රකින්නන් 6 දෙනෙකු යාර 30 සීමාව තුළ රැදවිය යුතුයි.

ඒ අනුව එවැනි අවස්ථාවක යාර 30 සීමාවෙන් පිටත රැදවිය හැකි වන්නේ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණයි. ඉවත් කරන පන්දු රකින්නා නායකයා විසින් නම් කළ යුතුයි.

පන්දුවාර ක්‍රියාත්මක කිරීමේ වේගය නිසි පරිදි පවත්වා ගැනීම සදහා සහාය වීම පිතිකරණ කණ්ඩායමේ ද වගකීමක් වනවා. ඒ අනුව විනිසුරු ලබා දෙන පළමු හා අවසන් අනතුරු ඇගවීමෙන් පසුව පිතිකරණ කණ්ඩායම කාලය නාස්ති කරන සෑම අවස්ථාවකටම දඩුවම් ලකුණු 5 ක් පැනවීමට කටයුතු කිරීමට නියමිතයි.

තරගයේ එක් ඉනිමක් මිනිත්තු 85 ක් තුළ අවසන් විය යුතුයි. ඒ අනුව 17 වැනි පන්දුවාරය මිනිත්තු 72 යි තත්ත්පර 15 ක් තුළ අවසන් විය යුතු අතර, 18 වැනි පන්දුවාරය මිනිත්තු 76 යි තත්ත්පර 30 ක් ඇතුළත අවසන් විය යුතුයි. 19 වැනි පන්දුවාරය අවසන් විය යුතු වන්නේ මිනිත්තු 80 යි තත්ත්පර 45 ක් තුළයි.

ආබාධවලට ලක්වීම්, විනිසුරු තීරණ නැවත විමසීම් (DRS) හා පිතිකරණ කණ්ඩායම විසින් සිදු කරන කාලය නාස්ති කිරිම් ද මෙහිදී සැලකිල්ලට ගෙන ඒ සදහා යම් සහනයක් ලබා දෙනු ඇති.

මෙවර පිරිමි CPL තරගාවලිය අගෝස්තු 17 වැනිදා ද, කාන්තා තරගාවලිය අගොස්තු 31 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...