සයිෆර්ට්ගේ සුපිරි ප්‍රහාරය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා ටයිටන්ස් පිලට දැවැන්ත ජයක් හිමි කරයි

Date:

ටිම් සයිෆර්ට් හා ශකිබ් අල් හසාන් සිව්වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ ලකුණු 95 (52) ක සම්බන්ධතාවය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම පරදා ලකුණු 83 ක අනර්ඝ ජයක් වාර්තා කිරීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97 ක් පමණයි.

පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් ඉනිම එක් අවස්ථාවක පන්දුවාර 10 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සටහන්ව තිබුණේ ලකුණු 63 ක් ලෙසයි.

ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 11කටත්, ශෙවෝන් ඩැනියල් ලකුණු 25 කටත්, භානුක රාජපක්ෂ ලකුණු 4කටත් දැවී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව ශකිබ් හා සයිෆර්ට් විශිෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් ගෝල් ටයිටන්ස් පිල දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

ශකිබ් පන්දු 21 කින් ලකුණු 30 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් ද සමගින්. සයිෆර්ට් හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් සමගින් පන්දු 39 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 74 ක්.

දසුන් ශානක නොදැවී ලකුණු 9ක් හා ලහිරු සමරකෝන් නොදැවී ලකුණු 6ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ආමර් ජමාල්, මොහමඩ් හස්නයින් හා වනිදු හසරංග කඩුල්ල බැගින් බිද හෙලුවා.

බී-ලව් කැන්ඩි පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අශේන් බණ්ඩාර. ඔහු ලකුණු 27 ක් රැස් කළේ පන්දු 19 කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහරක් ද සමගින්.

දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබාත්, කමිදු මෙන්ඩිස් ලකුණු 3කටත්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 2කටත්, තනුක දාබරේ ලකුණු 12 කටත්, වනිදු හසරංග ලකුණු 9කටත් දැවී ගියා. අසිෆ් අලී ලකුණු 3 යි. ආමර් ජමාල් ලකුණු 6 ක් රැස් කළා. ඉසුරු උදාන ලබා ගත් ලකුණු සංඛ්‍යාව 16 ක්.

පන්දු යැවීමේ දී කසුන් රාජිත, රිචර්ඩ් එන්ගරාවා, ශකිබ් අල් හසාන් හා ටබ්රයිස් ශම්සි කඩුලු 2 බැගින් බිද හෙලුවා. ලහිරු සමරකෝන් හා අකිල ධනංජය අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම ජයත් සමග මෙවර තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින් ටයිටන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

බී-ලව් කැන්ඩි කණ්ඩායම අවසන් ස්ථානයේ රැදී සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වෙමින්.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...