පාකිස්තානය ජයග්‍රහනයට ලකුණු 83 ක් පිටුපසින්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද (19) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු පාකිස්තානයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ජයග්‍රහනය සදහා ලකුණු 131 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 48 ක්.

ඒ අනුව තරගය ජය ගැනීමට ඔවුන් තවත් ලකුණු 83 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව තරගය ජය ගැනීමටනම් තවත් කඩුලු 7 ක් දවා ගත යුතුයි.

පාකිස්තාන ඉනිම ආරම්භ කළ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 8කට හා අංක 3 පිතිකරු වූ ශාන් මසූඩ් ලකුණු 7කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. නෝමන් අලී ලකුණු නොලබා සිටියදී දුවද්දී දැවී ගියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ඉමාම් උල් හක් ලකුණු 25 ක් හා බාබර් අසාම් ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 14 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව  279 ක්.

යළිත් සුපිරි සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ ධනංජය ද සිල්වා ලකුණු 82 ක් රැස් කළේ පන්දු 118 කින්. හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

නිශාන් මදුෂංක ලකුණු 52කට දැවී ගියා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7 ක් ඇතුළත්.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 42 ක් ලබා ගත්තා. රමේෂ් හා ධනංජය අතර 7 වැනි කඩුල්ල සදහා ලකුණු 76 (134) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, ධනංජය හා දිනේෂ් චන්දිමාල් අතර 5 වැනි කඩුල්ලට ලකුණු 60 (97) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

චන්දිමාල් ලකුණු 28 යි. දිමුත් කරුණාරත්න ලකුණු 20 කටත්, කුසල් මෙන්ඩිස් ලකුණු 18 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් හා නෝමල් අලී කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, ශහීන් අෆ්රිඩි හා ආගා සල්මාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 312 ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 122 ක් ලබා ගත් අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 64 යි. පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි, නසීම් ශාහ් හා අබ්‍රාර් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 461 ක්. ඒ, ලකුණු 101 ට කඩුලු 5 ක් දැවී ගොස් තිබූ පසුබිමකයි. සවුද් ශකීල් නොදැවී ලකුණු 208 ක් ලබා ගත්තේ පන්දු 361 කට මුහුණ දෙමින්. ශකීල්ගේ ඉනිමට හතරේ පහර 19 ක් ඇතුළත්. පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 5 ක් දවා ගත්තේ ලකුණු 136 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...