ICC ටෙස්ට් හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි අද(5) නිවේදනය කළා.

ඊට අනුව එහි ටෙස්ට් පිතිකරුවන් අතර දෙවැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියවේ ස්ටීවන් ස්මිත් සමත්ව තිබෙනවා.

ඒ, එංගලන්තය සමග පැවැති දෙවැනි අළුබදුන ටෙස්ට් තරගයේ දී සිය 32 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඔහුට ශ්‍රේණිගත ලකුණු 882 ක් හිමිව ඇති අතර, මේ වන විට යළි ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පත්ව ඇති නවසීලන්තයේ කේන් විලියම්සන් ශ්‍රේණිගත ලකුණු 883 කට හිමිකම් කියනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා අතර පරතරය ශ්‍රේණිගත ලකුණු 1 ක් පමණයි.

මෙතෙක් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණේ රැදී සිටියේ එංගලන්තයේ ජෝ රූට්. කෙසේ වෙතත්, දෙවැනි ටෙස්ට් තරගයේ දී සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම හේතුවෙන් ඔහු 5 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

2021 වසරේ අගෝස්තු මාසයෙන් පසුවයි විලියම්සන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණට පත් වුණේ. ඔහු පළමු වරට ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයට පත් වුණේ 2015 වසරේ නොවැම්බර් මාසයේ දී යි.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 7න් ස්ථාන 4 ක්ම ඔස්ට්‍රේලියානු පිතිකරුවන් විසින් හිමි කර ගෙන තිබීම කැපී පෙනෙනවා.

ඒ අනුව ස්මිත් හැරුණු විට පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය මර්නස් ලබුෂේන්ටත්, සිව්වැනි ස්ථානය ට්‍රැවිස් හෙඩ් හටත්, 7 වැනි ස්ථානය උස්මාන් කවාජාටත් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ටෙස්ට් පිතිකරුවන් අතර හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

මේ අතර, 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසක් ද එක්දින ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අතරින් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සම 38 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 8 කින්.

තරගාවලියේ දී පන්දු යැවීමෙන් ඉහළ දක්ෂතා දක්වමින් සිටින මහීෂ් තීක්ෂණ ස්ථාන 21 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහු මේ වන විට එක්දින පන්දු යවන්නන් අතර 32 වැනි ස්ථානයේයි පසුවන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...