අයර්ලන්තය සමග ජූනි පළමු වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජෙම්ස් ඇන්ඩර්සන්ට අහිමි වනු ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ජූනි 16 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා පූර්වාරක්ෂක පියවරක් ලෙස ඔහු එලෙස අයර්ලන්ත ටෙස්ට් තරගයෙන් ඉවත් වනු ඇති.
ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී ඇන්ඩර්සන් පසුගියදා ආබාධයකට ලක් වුණා. සමර්සෙට් කණ්ඩායම සමග පැවැති සිව්දින තරගයේ දී ඔහු එලෙස ආබාධයකට ලක් වූ අතර, එම තරගයේ පළමු දිනයේ දී ඔහු ලකුණු 16 කට කඩුලු 2 ක් දවා ගත්තා. කෙසේ වෙතත්, ආබාධය හේතුවෙන් පළමු දිනයෙන් පසුව ඔහු යළි එම තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.
අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගය සදහා වන එංගලන්ත සංචිතය පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර, එම සංචිතයට ද ඇන්ඩර්සන් නම් කිරීමටයි පියවර ගෙන තිබුණේ.
40 හැවිරිදි ඔහුගේ ආබාධය බරපතල නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී තිබූ අතර, ආබාධය හේතුවෙන් දින 10ක කාලයක් පමණක් විවේක ගැනීමට ඇන්ඩර්සන්ට සිදු වනවා.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව ඔහුට අයර්ලන්ත ටෙස්ට් තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව පවතින නමුත්, අළුබදුන තරගාවලිය අරමුණු කර ගනිමින් ඔහු අදාළ තරගය සදහා ක්‍රීඩා නොකරනු ඇති.

