ප්‍රභාත්, දිමුත්, චන්දිමාල් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Date:

නවතම ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(19) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

එම තරගයේ දී කඩුලු 10 ක් දවා ගැනීමට දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහු මේ වන විට කඩුලු 43 ක් දවා ගෙන ඇත්තේ තරග 6 කට පමණක් ක්‍රීඩා කරමින්.

ඔහු සිය කෙටි ටෙස්ට් දිවියේ දී කඩුලු පහේ අවස්ථා 5 ක් ද, කඩුලු 10 අවස්ථා දෙකක් ද දවා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව නවතම ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 19 වැනි ස්ථානය දක්වා ස්ථාන 13 කින් ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත්ව ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 669 ක් ලබා ගනිමින්.

මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ ඔහුයි.

අයර්ලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී කඩුලු 4 ක් දවා ගත් රමේෂ් මෙන්ඩිස් ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ 32 වැනි ස්ථානයයි. මෙන්ඩිස්ට ශ්‍රේණිගත ලකුණු 576 ක් හිමියි.

විශ්ව ප්‍රනාන්දු 59 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉහළට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත්, අසිත ප්‍රනාන්දු ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 54 වැනි ස්ථානයයි.

මේ අතර, නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි 9 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත්තේ පළමු ටෙස්ට් තරගයේ දී වාර්තා කළ ලකුණු 179 හේතුවෙන්.

ඔහුට ශ්‍රේණිගත ලකුණු 783 ක් හිමිව ඇති අතර, එය ඔහු ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයයි.

අයර්ලන්තයට එරෙහිව නොදැවුණු ශතකයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල් 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

2022 වසරේ සිට ටෙස්ට් පිටියේ දී ඉහළ දක්ෂතා දැක් වීමට චන්දිමාල් සමත්ව සිටිනවා. 2022 වසරෙන් පසුව චන්දිමාල්ගේ ඉනිමක සාමාන්‍ය 90 ඉක්මවා තිබීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...