මතීෂ, දේශ්පන්ඩේ හා කොන්වේගේ දක්ෂතා චෙන්නායි පිලට තියුණු ජයක් හිමි කර දෙයි

Date:

මතීෂ පතිරණ සිය අවසන් පන්දුවාර දෙකේ දී දැක් වූ විශිෂ්ඨ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 24 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 8ක තියුණු ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද(17) සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව චෙන්නායි කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව සුපර් කිංග්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 226 ක් ලබා ගනිමින්.

ඩෙවෝන් කොන්වේ ලකුණු 83 (45) ක් හා ශිවම් ඩූබේ ලකුණු 52 (27) ක් රැස් කරමින් චෙන්නායි ඉනිම ශක්තිමත් කළා. අජින්කෙයා රහානේ ලකුණු 37 කට දැවී ගියේ වනිදු හසරංගගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. වනිදු පන්දුවාර 2ක් පමණක් යොමු කර ලකුණු 21 කට එම කඩුල්ල දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත්තේ ලකුණු 218 ක් පමණයි.

පළමු කඩුලු 2 ලකුණු 15 ක් තුළ බිද වැටුණා. ඒ, විරාට් කෝලි ලකුණු 6 කට හා මහිපාල් ලොම්රෝර් ලකුණු බින්දුවකට දැවී යාමත් සමගයි.

අනතුරුව ෆෆ් ඩු ප්ලෙසිස් හා ග්ලේන් මැක්ස්වෙල් අතර ලකුණු 126 (61) ක වේගවත් සම්බන්ධතාවයක් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණේ තරගය ජය ගැනීම පිළිබද බලාපොරොත්තු යළිත් බැංගලෝර් කණ්ඩායමට ලබා දෙමින්.

කෙසේ වෙතත්, මැක්ස්වෙල් ලකුණු 76 (පන්දු 36 කින්) කට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වීමත් සමග යළි තරගයේ පාලනය කෙමෙන් කෙමෙන් චෙන්නායි පිල වෙත නතු වුණා. (දර්ශන පහතින්) මැක්ස්වෙල්ගේ ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 3 ක් ඇතුළත් වුණා.

මැක්ස්වෙල්ගේ දැවී යාමෙන් අනතුරුව ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 62(පන්දු 33කින්) කට දැවී ගියා. ඔහු ලකුණු නොලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් මහේන්ද්‍ර සිං දෝනි අතින් ගිලිහී ගිය අතර, ලකුණු 52 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් මහීෂ් තීක්ෂණ අතින් ගිලිහී ගියා. තීක්ෂණ අතින් මහිපාල් ලොම්රෝර් ලබා දුන් උඩ පන්දුවක් ද මෙම තරගයේ දී ගිලිහී ගියා.

දිනේෂ් කාර්තික් ලකුණු 28 යි. පන්දු යැවීමේ දී තුෂාර් දේශපන්ඩේ ලකුණු 45 කට කඩුලු 3 ක් දවා ගත්තා. මතීෂ පතිරණ කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 42 ක් ලබා දෙමින්. ඔහු සිය අවසන් පන්දුවාර දෙකේ දී ප්‍රතිවාදීන්ට ලකුණු 14 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 දවා ගැනීම කැපී පෙනුණා. 18 වැනි පන්දුවාරයේ දී ඔහු ලකුණු 4 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දුන් අතර, තීරණාත්මක අවසන් පන්දුවාරයේ දී ඔහු ලබා දුන්නේ ලකුණු 10 ක් පමණයි. මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිද හෙලුවේ ලකුණු 41 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...