පසුපෙල අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 18 ක් පිටුපසුට ඇදදමයි

Date:

නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(11) ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 373 ක්. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 355 ට පිළිතුරු වශයෙන්.

ඒ අනුව නවසීලන්තය සිය පළමු ඉනිම අවසන් කරන විට ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 18 ක්.

නවසීලන්ත ඉනිමේ නැංගුරම බවට පත් වූ ඩැරල් මිචෙල් සිය 5 වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබා ගත්තා. ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ අතට උඩ පන්දුවක් ලබා දෙමින් ඔහු දැවී යන විට හයේ පහර 2 කින් හා හතරේ පහර 6 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වී තිබුණා.

දිනයේ පළමු කඩුල්ල ලෙස මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 25 කට දැවී ගිය අතර, ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස නායක ටිම් සවුති පන්දු 20 කින් ලකුණු 25 ක් ලබා සිටියදී දැවී ගියා.

පසුපෙල පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් පළමු ඉනිමේ දී නවසීලන්තයට වඩා ඉදිරියෙන් පසුවීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්ථාව අහිමි වී ගියා.

අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල කළ මැට් හෙන්රි පන්දු 75 කින් වේගවත් ලකුණු 72 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 10 ක් සමගින්. හයේ පහර 3 ක් හා එක් හතරේ පහරක් ද සමගින් නෙයිල් වෑග්නර් ලකුණු 27 ක් පන්දු 24 කින් වාර්තා කළා.

නවසීලන්ත ඉනිමේ අවසන් පන්දු 39 දී ලකුණු 75 ක් වාර්තා වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 85 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ලහිරු කුමාර ලකුණු 76 කට කඩුලු 3 ක් දවා ගත්තා. කසුන් රාජිත කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 104 ක් ලබා දෙමින්. ප්‍රභාත් ජයසූරිය ද එක් කඩුල්ලක් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...