තේරීම් කමිටුව ගැන අද ගත් තීරණය මෙන්න ; නඩු තීන්දුව ලැබෙන තුරු ධනුෂ්කටත් ක්‍රිකට් තහනම්

Date:

“මට මේ තනතුර එක්ක යාලුවෝවත් තරහකාරයෝවත් නෑ . මට අවශ්‍ය පුද්ගලයො නෙමේ ක්‍රීඩාව දියුණු කරන්න” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. අද(30) පැවැති ජාතික තේරීම් කමිටුවේ රැස්වීමකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා ඒ බව සදහන් කළේ.

ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ පළමු රැස්වීම අද පෙරවරු 10 ට ජාතික ක්‍රීඩා සභාවේ දී පැවැති අතර, මෙම රැස්වීම සදහා ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සනත් ජයසූරිය ඇතුළු සාමාජිකයින් රැසක් සහභාගී වුණා.

මෙහිදී ක්‍රීඩාවේ පවතින ගැටලු සහ තීරණ පිළිබඳ සාකච්ඡා කර ඇති අතර, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා සනත් ජයසූරිය මහතා ක්‍රිකට් තේරීම් කමිටුව සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබද පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මාර්ගයෙන් පුවත්පත් දැන්වීමක් පළ කර ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා සම්බන්ධ වීමට කැමත්තක් දක්වන පුද්ගලයින් විනිවිද භාවයකින් යුක්තව තෝරා ගැනීමටයි මෙම සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ.

සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා කියා සිටියේ දැක්මක් සහිත පුද්ගලයින් පිරිසක් තේරීම් කමිටුව වෙත පත් කිරීම වැදගත් බවයි.

ක්‍රිකට් තේරීම් කමිටුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යෝජනා කර ඇති නම් පිළිබද ජාතික තේරීම් කමිටුව සාකච්ඡා කර ඇති නමුත්, අර්ජුන රණතුංග මහතා සදහන් කර සිටියේ මෙරට සිටින ‍හොදම නිළධාරීන් නව තේරීම් කමිටුව වෙත පත් කර ගැනීම වැදගත් බවයි.

ඒ අනුව තේරීම් කමිටුව සදහා යළිත් නාමයෝජනා කැදවා නව තේරීම් කමිටුව පත් කිරීමේ වැඩකටයුතු සිදු කරන බවත්, නව වැඩපිළිවෙලක් යටතේ ක්‍රිකට් තේරීම් කටයුතු ඉදිරියේ දී සිදු කිරීම වැදගත් බවත්, රණතුංග මහතා අවධාරණය කර සිටියා.

මේ අතර, ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල දී පැවැත්වෙන අතරවාරයේ දී ප්‍රධාන ක්‍රීඩකයින් රැසක් එම තරගාවලියට ක්‍රීඩා නොකර, විදේශගතව සිටීම සම්බන්ධයෙන් ද අද පැවැති සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

එමෙන්ම කෙත්තාරාම ක්‍රීඩාංගනයේ පහසුකම් අඩු බවට සහ පිහිනුම් තටාකයක් සහ තවත් පහසුකම් කිහිපයක ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් ක්‍රීඩකයින්ගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳව ද අද දිනයේ දී සාකච්ඡා කළ බවයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේ.

මේ අතර, පසුගිය වසරේ පැවැති පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදු කළ වියදම් පිළිබද රජයේ විගණකාධිපතිවරයාගෙන් වෝහාරික විගණනයක් සිදු කර වාර්තාවක් ලබා ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යංශයට නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගැනීමට පෙර මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසයි නිර්දේශ කර ඇත්තේ.

තවද ඔස්ට්‍රේලියාවේ දී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් එල්ල වී සිටින ධනුෂ්ක ගුණතිලකට ඊට අදාළ නඩු තීන්දුව ලබා දෙන තුරු සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවන ලෙස ද නීතිපතිවරයා විසින් නිර්දේශ කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව ඔස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට ගැනීමත් සමග ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...