මහේල ජයවර්ධන ප්‍රබල තනතුරක් අත්හරියි

Date:

එංගලන්තයේ පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දී ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන එම පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට සූදානමින් පසුවනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් උසස් වීමක් ලබා දීමත් සමග පවතින කාර්යය බහුල තත්ත්වය හා දැඩි වගකීම් හේතුවෙනුයි ඔහු මෙලෙස ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමේ කලමණාකාරීත්වය සමග ද මහේල ජයවර්ධන සාකච්ඡා කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙතෙක් මහේල ජයවර්ධන නිල වශයෙන් එම ධූරයෙන් ඉවත්ව නැහැ.

මේ වන විට ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමේ කලමණාකාරීත්වය විසින් නව පුහුණුකරුවෙකු බදවා ගැනීම සදහා කටයුතු ආරම්භ කර ඇති බව ද සදහන්.

‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියේ පළමු අදියරේ දී ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායම මහේලගේ පුහුණුකාරීත්වය යටතේ තරගාවලියේ ශූරතාවය ජය ගැනීමට සමත් වුණා.

කෙසේ වෙතත්, ගැටලු රැසක් හේතුවෙන් පන්දු යැවීමේ අංශය දුර්වල වීම හේතුවෙන් දෙවැනි අදියරේ දී ‘සදර්න් බ්‍රේව්’ කණ්ඩායමට 7 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා.

පසුගිය අයි.පී.එල් තරග වාරය දක්වා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන මේ වන විට මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය සහිත (එම් අයි සමූහයේ) සියලු කණ්ඩායම්වල කාර්යය සාධනය පිළිබඳ ගෝලීය ප්‍රධානියා (Global Head of Performance) ලෙස කටයුතු කරනවා.

මුම්බායි කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් MI Emirates (එම් අයි එමිරේට්ස්) හා MI Cape Town (එම් අයි කේප් ටවුන්) නමින් තවත් කණ්ඩායම් දෙකක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (International League T20 තරගාවලිය) හා දකුණු අප්‍රිකාවේ (SA20 තරගාවලිය) පැවැත්වීමට නියමිත 20යි 20 ලීග් තරගාවලි සදහා ද ඇතුළත් කිරීමට ගෙන ඇති පියවරත් සමගයි මෙම උසස් වීම ඔහුට හිමි වුණේ.

සමස්ත උපායමාර්ගික සැලසුම් ඇතුළුව, එම් අයි සමූහයේ ලොව පුරා ක්‍රිකට් මෙහෙයුම් සඳහා ජ්‍යෙෂ්ඨ නායකත්වය සැපයීම, ඒකාබද්ධ ගෝලීය ඉහළ කාර්යය සාධනයක් සහිත පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම, එක් එක් කණ්ඩායමේ පුහුණු සහ සහාය ව්‍යුහයන් සඳහා වගකීම මෙන්ම, සහයෝගීතාවය සහතික කිරීම සඳහා කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරුවන් සමඟ සමීපව කටයුතු කිරීම හා ස්ථාවර ක්‍රිකට් සන්නාමයක් බිහි කිරීම යන වගකීම් මෙහිදී ඔහුට පැවරෙනවා.

ඒ අනුව නව තනතුර භාර ගැනීම වෙනුවෙන් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ද ඉවත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...