ස්ටොක්ස්ගේ සටන්කාමී ඉනිම එංගලන්තයට දෙවැනි වරටත් 20යි 20 ලෝක ශූරතාවය හිමි කර දෙයි

Date:

දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරයින් ලෙස කිරුළු පැළදීමට එංගලන්ත කණ්ඩායම අද(13) සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ප්‍රේක්ෂකයින් 80,462 දෙනෙකු ඉදිරියේ පැවැති අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ජොස් බට්ලර් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන් අතර, ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 137 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය (138/5) පසු කරමින් 2010 වසරෙන් පසුව යළිත් වරක් 20යි 20 ලෝක ශූරතාවයක් දිනා ගැනීමට සමත් වුණා. මේ වන විට එක්දින ලෝක ශූරයින් ද වන එංගලන්තය ඉතිහාසගත වුණේ එක්දින හා 20යි 20 යන ලෝක ශූරතාවයන් දෙකම එකම කාලයක් තුළ ජය ගත් ලොව පළමු රට ලෙසයි.

පාකිස්තාන ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ මොහමඩ් රිස්වාන් ලකුණු 15 කටත්, නායක බාබර් අසාම් ලකුණු 32 (28) කටත් දැවී ගියා. ශාන් මසූඩ් පන්දු 28 කින් ලකුණු 38 ක් රැස් කළ අතර, ශඩාබ් ඛාන් පන්දු 14 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 20ක්.

එංගලන්ත ක්‍රීඩකයින්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ පාකිස්තාන ඉනිමේ අවසන් පන්දුවාර 4 තුළ දී වාර්තා වූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 18 ක් පමණක් වීම පාකිස්තානයේ පරාජයට ප්‍රබල හේතුවක් බවට පත් වුණා.

පන්දු යැවීමේ දී සෑම් කරන් ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත් අතර, අඩිල් රෂීඩ් හා ක්‍රිස් ජෝර්ඩන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

එංගලන්ත පිළිතුරු ඉනිමේ දී ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් එක් ලකුණකට පළමු පන්දුවාරයෙන්ම දවා ගැනීමට ශහීන් ශාහ් අෆ්රිඩි සමත් වුණා. පිල් සෝල්ට් ලකුණු 10 කට දැවී ගිය අතර, නායක ජොස් බට්ලර් ලකුණු 26(17)යි.

අනතුරුව බෙන් ස්ටොක්ස් හා හැරී බෘෘක් සිව්වැනි කඩුල්ල සදහා පන්දු 42 කින් ලකුණු 39 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් එංගලන්ත මැද පෙල ස්ථාවර කළා. බෘෘක් ලකුණු 20(23) ක් රැස් කළ අතර, ස්ටොක්ස් නොදැවී ලකුණු 52 (49) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ලෝක ශූරතාවය කරා රැගෙන ගියා. එය ඔහුගේ මංගල 20යි 20 ජාත්‍යන්තර අර්ධ ශතකය වීම ද කැපී පෙනුණා. ස්ටොක්ස්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. මොයීන් අලී ලකුණු 19(12) යි.

තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් තිබූ අවස්ථාවක ආබාධයකට ලක් වීම හේතුවෙන් ශහීන් ශාහ් අෆ්රිඩිට සිය අවසන් පන්දු 11 යොමු කිරීමට නොහැකිව පිටියෙන් ඉවත් වීමට සිදු වීම ද තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ශහීන් ශාහ් අෆ්රිඩි, ශඩාබ් ඛාන් හා මොහමඩ් වසීම් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ එංගලන්තයේ සෑම් කරන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...