SA20 තරගාවලියේ තරග කාලසටහන එළිදකියි ; MI හා Royals පළමු තරගයට

Date:

දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත නවතම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන SA20 (එස් ඒ ට්වෙන්ටි) තරගාවලියේ තරග කාලසටහන දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ සමාරම්භක තරගය MI Cape Town හා Paarl Royals කණ්ඩායම් අතර කේප් ටවුන් හී දී පැවැත්වීමට නියමිතයි.

තරග 33 කින් යුත් තරගාවලියේ අවසන් මහා තරගය ජොහැනස්බර්ග් හි වොන්ඩරස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ද දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ජනවාරි 10 වැනිදා සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලිය ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබීම විශේෂත්වයක්.

ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින තරග 3ක් එම කාලයේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බැවින්.

2020 දෙසැම්බර් මාසයේ දී එම එක්දින තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොවිඩ් 19 ආසාදිතයින් කණ්ඩායම් දෙකෙන්ම හදුනා ගැනීම හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදු වුණා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් එම තරගාවලියේ තරගවල ජය දකුණු අප්‍රිකාවට අතිශය වැදගත් වනු ඇති.

ඒ, SA20 තරගාවලිය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරග 3ක් ද අවලංගු කිරීමට දකුණු අප්‍රිකාව පියවර ගෙන තිබීම හේතුවෙන්.

SA20 තරගාවලිය සදහා කණ්ඩායම් 6 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, සෑම කණ්ඩායමක්ම සත්කාරකත්වය දරමින් තරග 5 ක් ද, සංචාර ලෙස තරග 5ක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලිය SuperSport නාලිකාවෙන් මෙන්ම ඉන්දියාවේ Viacom18 Sports නාලිකාවෙන් ද විකාශය කිරීමට නියමිතව තිබෙනවා.

SA20 තරගාවලිය විකාශය කිරීම වෙනුවෙන් වසර 10 ක කාලයක් සදහා Viacom18 Sports නාලිකාව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සමග පසුගියදා ගිවිසුම්ගත වුණා.

මේ අතර, දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන පිරිමි හා කාන්තා ජාත්‍යන්තර තරගාවලිවල විකාශන අයිතිය ද වසර 7 ක කාලයක් ( 2024-2031) සදහා ඉන්දියාවේ Viacom18 Sports නාලිකාව විසින් හිමි කර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...