ශ්‍රී ලංකාවේ ජයග්‍රහන බලාපොරොත්තුවට ආලෝකය හරස් වන ලකුණු

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය ද අද (27) අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර අවසන් කිරීමට සිදු වුණා. ඒ, තරගයේ ජයග්‍රහනය සදහා ඇති ශ්‍රී ලංකාවේ අපේක්ෂාවට ද යම් බලපෑමක් එල්ල කරමින්.

අයහපත් අලෝක තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී පන්දුවාර 26 ක් පමණ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නැහැ.

තරගය අද දිනට නතර කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 508 ක ඉලක්කයක් හඹා යමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 89 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ඉමාම් උල් හක් ලකුණු 46 ක් හා බබාර් අසාම් ලකුණු 26 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 16 කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණේ දුනිත් වෙල්ලාලගේ රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි.

පාකිස්තානය තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 419 ක් ලබා ගත යුතු අතර, ශ්‍රී ලංකාව කඩුලු 9ක් දවා ගත යුතුයි.

අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 176 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 360 ක් ලබා සිටියදීයි.

සිය 9 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ ධනංජය ද සිල්වා ලකුණු 109 කට දුවද්දී දැවී ගියා. පන්දු 171 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 16 ක් ඇතුළත්. රමේෂ් මෙන්ඩිස් නොදැවී ලකුණු 45 යි.

නායක දිමුත් කරුණාරත්න ද ලකුණු 61 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළ අතර, ඔහු ධනංජය ද සිල්වා සමග 6 වැනි කඩුල්ල සදහා ලකුණු 126 ක අගනා සබදතාවයක් ගොඩ නැගීමට සමත් වුණා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 18 කට දැවී ගියා. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල ලකුණු 15 කටත්, ඕෂද ප්‍රනාන්දු ලකුණු 19 කටත් ඊයේ දැවී ගියා. කුසල් මෙන්ඩිස් ලකුණු 15 යි. තම සියවැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 35 ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් හා මොහමඩ් නවාස් කඩුලු 2 බැගින් බිද හෙලුවා. යසීර් ශාහ්, නොවුමන් අලී හා අගා සල්මාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 378 ක් රැස් කළා. පිළිතුරු ලෙස පාකිස්තානය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...