හෝප්ගේ ශතකය අභිබවා පටෙල්ගේ ප්‍රහාරය ඉන්දියාවට තියුණු ජයක් ගෙනෙයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයග්‍රහනයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම මෙරට වේලාවෙන් අද (25) අලුයම සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 312 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු දෙකක් පමණක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

නායක ශිකර් ධවාන් ලකුණු 13 කට දැවී ගිය අතර, ෂුබ්මන් ගිල් ලකුණු 43 යි. සූර්යකුමාර් යාදව් රැස් කළේ ලකුණු 9 ක් පමණයි.

ලකුණු 79 ට කඩුලු 3 ක් දැවී යාමෙන් පසුව ෂ්රෙයස් අයියර් හා සංජු සැම්සන් සිව්වැනි කඩුල්ල සදහා ලකුණු 99 (94)ක සබදතාවයක් ගොඩ නැගුවා.

අයියර් පන්දු 71 කින් ලකුණු 63 ක් ලබා ගත්තා. පන්දු 51 කින් හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 54 ක් ලබා සිටියදී සංජු සැම්සන් දුවද්දී දැවී ගියා.

ලකුණු 205 දී ඉන්දීය ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස සැම්සන් දැවී යාමෙන් පසුව දීපක් හූදා හා අක්සාර් පටෙල් පන්දු 33 කින් ලකුණු 51 ක වේගවත් සබදතාවයක් 6 වැනි කඩුල්ල සදහා ගොඩ නැගීමට සමත් වුණා.

දීපක් ලකුණු 33 (36) යි. ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගිය අක්සාර් පටෙල් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 35 කින් නොදැවී වේගවත් ලකුණු 64 ක් වාර්තා කළා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 8 ක් අවශ්‍ය වූ අතර, ක්යල් මේයර්ස් යොමු කළ එම පන්දුවාරයේ අවසන් පන්දු තුනේදී ඔවුන්ට ජය ගැනීම සදහා අවශ්‍ය වූ ලකුණු ප්‍රමාණය 6ක්.

එවැනි පසුබිමක් තුළ අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ අක්සාර් පටෙල් තරගයේ ජය ඉන්දියාවට තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් හා ක්යල් මේයර්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් ලකුණු 311 ක් රැස් කළේ කඩුලු 6 ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරු ෂේයි හෝප් පන්දු 135 කින් ලකුණු 115 ක් ලබා ගත්තා. හයේ පහර 3කින් හා හතරේ පහර 8 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

නායක නිකලස් පූරාන් ලකුණු 74 (77) යි. පූරාන්ගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහරක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ ශර්දුල් තාකූර් කඩුලු 3ක් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග ඉන්දියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...