ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් විසින් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නවතම 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් හයම මිලදී ගැනීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.
2023 වසරේ ජනවාරි මාසයේ දී යි මෙම නවතම 20යි 20 ලීග් තරගාවලියේ පළමු අදියර පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.
මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, ලක්නව් සුපර් ජයන්ට්ස්, සන්රයිසස් හයිදරාබාද්, රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම්වල හිමිකරුවන් මෙන්ම දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ එක් හිමිකරුවෙකු විසින් කණ්ඩායම් මිලදී ගැනීම සදහා සාර්ථකව ලංසු ඉදිරිපත් කර ඇති බව සදහන්.
ජොහැනස්බර්ග් කණ්ඩායම මිලදී ගැනීම සදහා ඉහළම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින්.(Chennai Super Kings Sports Limited ආයතනය විසින්)
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවන් වන Reliance Industries විසින් කේප් ටවුන් කණ්ඩායම මිලදී ගෙන ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.
පෝර්ට් එලිසබෙත් කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ Sun TV සමූහය හෙවත් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ හිමිකරුවන් විසින්.
ඉන්දීය රුපියල් කෝටි 7,090 ක මුදලකට අයි.පී.එල් තරගාවලියේ ලක්නව් කණ්ඩායම මිලදී ගත් RP Sanjeev Goenka සමූහය විසින් ඩර්බන් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.
Paarl කණ්ඩායම මිලදී ගෙන ඇත්තේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවන් විසින්.
Parth Jindal ගේ ප්‍රධානීත්වයෙන් යුත් Jindal South West Sports ආයතනය විසින් ප්‍රිටෝරියා කණ්ඩායම මිලදී ගෙන ඇති බව සදහන්. Parth Jindal දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වනවා.
කණ්ඩායම්වල නව හිමිකරුවන් සම්බන්ධයෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේ දී නිල වශයෙන් නිවේදනය කරනු ඇති.
මේ අතර, දකුණු අප්‍රිකා හිටපු ක්‍රිකට් නායකයෙකු වන ග්‍රෑම් ස්මිත් මෙම නව 20යි 20 ලීගයේ ප්‍රධානියා ලෙස පත් කර තිබෙනවා.

