බටහිර ඉන්දීය කොදෙව් හිටපු ආරම්භක පිතිකරුවෙකු වන ලෙන්ඩ්ල් සිමන්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
කොදෙව් හිටපු නායකයෙකු වූ දෙනේෂ් රම්දින් ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ පසුබිමකයි ඔහු ද සිය තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.
සිමන්ස් 2006 වසරේ දී ජාත්‍යන්තර වරම් දිනා ගත් අතර, මේ දක්වා ඔහු ටෙස්ට් තරග 8කට, එක්දන තරග 68කට හා 20යි 20 තරග 68කට ක්‍රීඩා කර තිබෙනවා.
සමස්ථයක් ලෙස ඔහු ජාත්‍යන්තර තරග 144 කදී වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 3,763 ක්.
2012 හා 2016 වසරවලදී 20යි 20 ලෝක ශූරතාවය දිනූ කොදෙව් කණ්ඩායමේ ද සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කළා.
2016 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී සත්කාරක ඉන්දියාව පරාජය කිරීම සදහා සිමන්ස් ලකුණු 82 ක් වාර්තා කරමින් සුවිශේෂ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද තමා තවදුරටත් 20යි 20 ලිග් තරග සදහා ක්‍රීඩා කරන බව ද ලෙන්ඩ්ල් සිමන්ස් සදහන් කළා.

