චාමිකගේ හා දග පන්දු යවන්නන්ගේ සටන ඇලෙක්ස් කෙරීගේ ඉනිම හමුවේ අපතේ යයි

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(24) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගැනීමට සමත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට පන්දුවාර 43.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160ක් පමණයි.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 9කට සීමා කරමින් පැතුම් නිස්සංක ලකුණු 2කට දැවී ගියා. නිරෝෂන් දික්වැල්ල වෙනුවට කණ්ඩායමට කැදවූ ධනුෂ්ක ගුණතිලක රැස් කළේ ලකුණු 8ක් පමණයි. ධනංජය ද සිල්වා වෙනුවට අද තරගයේ දී කණ්ඩායමට නම් කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 6කට දැවී ගියා.

පසුව චරිත් අසලංක සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 14ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසු වීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ දැඩි කඩා වැටීමක් සිදු වුණා.

එම දුවද්දී දැවී යාමෙන් පසුව යොමු කෙරුණු ඊළග පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් හිට් විකට් දැවී යාමකට හසු වීම විශේෂත්වයක්. ඒ වන විට කුසල් රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 26ක්.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 4කටත්, දසුන් ශානක එක් ලකුණටත් දැවී ගියා. ජෙෆ්රි වැන්ඩර්සේ ද ලකුණු 4ක් ලබා සිටියදී දැවී ගියේ දුවද්දී දැවී යාමකට ගොදුරු වෙමින්.

ඉනිමේ 8 වැනි කඩුල්ල දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස් වුණේ ලකුණු 85ක් ලෙසයි.

අනතුරුව ඉනිමේ හොදම සබදතාවය ගොඩ නැගීමට චාමික කරුණාරත්න සමගින් පිටියේ එක් වූ ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා. ඔවුන් දෙදෙනා අතර පන්දු 101කින් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 58ක්.

සිය මංගල ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කළ ප්‍රමෝද් ලකුණු 15(52)ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකත්වය ලබා දුන්නා.

සුපිරි සටන්කාමී ඉනිමක් දියත් කළ චාමික කරුණාරත්න පන්දු 75කින් ලකුණු 75ක් වාර්තා කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 8ක් සමගින්.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ්, මැතිව් කුහ්නෙමන් හා පැට් කමින්ස් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 39.3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

SLC

ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු තුන ලකුණු 19ක් තුළ බිද වැටුණා. නායක ආරෝන් ෆින්ච් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වූ අතර, ඩේවිඩ් වෝනර් ලකුණු 10කට දැවී ගියේ දුනිත් වෙල්ලාලගේ යොමු කළ පන්දුවක් හමුවේ ධනුෂ්ක ගුණතිලක රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙන්. සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉන්ග්ලිස් ලකුණු 5කට දවා ගැනීමට සමත් වූයේ ද මහීෂ් තීක්ෂණයි.

අනතුරුව මිචෙල් මාෂ් හා මර්නස් ලබුෂේන් සිව්වැනි කඩුල්ලට ලකුණු 31ක සබදතාවයක් ගොඩ නැගූ අතර, මාෂ් ලකුණු 24කට දැවී ගියා. ඒ, ප්‍රමෝද් මදුෂාන්ගේ මංගල එක්දින කඩුල්ල බවට පත් වෙමින්.

පස්වැනි කඩුල්ල සදහා මර්නස් ලබුෂේන් හා ඇලෙක්ස් කෙරී ගොඩ නැගූ සබදතාවය ලකුණු 51ක්. ලබුෂේන් ලකුණු 31කට දැවී ගියේ දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

ග්ලේන් මැක්ස්වෙල් ද ලකුණු 16කට දවා ගැනීමට දුනිත් වෙල්ලාලගේ සමත් වුණා.

කෙසේ වෙතත්, ඇලෙක්ස් කෙරී නොදැවී ලකුණු 45ක් හා කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 25ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 42කට කඩුලු 3ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ ලකුණු 26කට දවා ගත් කඩුලු ගණන 2ක්.

තරගයේ වීරයා ලෙස චාමික කරුණාරත්න ද, තරගාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් ද සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...