තෙවැනි එක්දින තරගය අභියසදී ඔස්ට්‍රේලියාවේ ආබාධ ප්‍රශ්නය උග්‍ර වෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය හෙට(19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගය ද දිවා රාත්‍රී තරගයක් ලෙස සුපුරුදු පරිදි පස්වරු 2.30ට ආරම්භ කිරීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස සම තත්ත්වයට පත්ව ඇති බැවින්, මෙම තරගය ජය ගනිමින් තරගාවලියේ පෙරමුණ ගැනීමේ අපේක්ෂාවෙන් කණ්ඩායම් දෙකම හෙට තරග බිමට පිවිසෙනු ඇති.

කණ්ඩායම් දෙකටම මේ වන විට ක්‍රීඩකයින්ගේ ආබාධවලින් බලපෑම් එල්ල වී ඇති අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරටට පැමිණීමෙන් පසුව ක්‍රීඩකයින් 7 දෙනෙකු මේ වන විට ආබාධවලට ලක්ව තිබෙනවා.

මුල්පෙල සුපිරි පිතිකරු ස්ටීවන් ස්මිත් ද මේ වන විට පාදයක ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ද හෙට තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ ඉඩක් පවතින බව සදහන්.

නිමා වූ දෙවැනි එක්දින තරගයේ දී පිතිකරණයේ නිරත වෙමින් සිටියදී ඔහු එම ආබාධයට ගොදුරු වී තිබුණා.

ස්මිත් දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අතිශය වැදගත් ක්‍රීඩකයෙකු වන බැවින් ඔවුන් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අවධානමකට ලක් කිරීමට කිසිසේත් කටයුතු නොකරනු ඇති.

ඒ අනුව හෙට තරගයට ඔහු ක්‍රීඩා නොකළහොත්, ඔහු වෙනුවට ජොෂ් ඉන්ග්ලිස්, කැමරන් ග්‍රීන් හෝ මිචෙල් මාෂ් (ශාරීරික යෝග්‍යතාවය මත) යන ක්‍රීඩකයින්ගෙන් එක් අයෙකුට කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාව හිමි වනු ඇති.

කැමරන් ග්‍රීන්ගේ ශාරීරික යෝග්‍යතාවය සලකා බලා ඔහුට මේ දක්වා පන්දු යැවීමට අවසර ලබා දී නොතිබූ නමුත්, මේ වන විට ඔහුට ඒ සදහා අවසර ලැබී තිබෙනවා.

ආබාධවලට ලක් වූ මිචෙල් මාෂ්ට හා මිචෙල් ස්ටක්ට හෙට තරගය ද අහිමි වීමේ වැඩි ඉඩක් ඇති බවයි වාර්තා වන්නේ.

මීට පෙර කේන් රිචර්ඩ්සන්, ශෝන් ඇබෝට්, මර්කස් ස්ටොයිනිස් හා ඇෂ්ටන් ඒගාර් යන ක්‍රීඩකයින් ද ආබාධවලට ලක් වුණා.

මේ අතර, තෙවැනි එක්දින තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු නොකිරීමට ඉඩ තිබෙනවා.

වනිදු හසරංග තවමත් සිය ආබාධ තත්ත්වයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා නොමැති බැවින් එක්දින තරගාවලියේ සියලු තරග ඔහුට අහිමි වීමේ වැඩි ඉඩක් පවතිනවා.

කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකා සංචිතය සමග තරගාවලිය පුරා අඛණ්ඩව රැදී සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...