සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලකුණු 82ක ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 2-2ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට ඉන්දීය කණ්ඩායම අද(17) සමත් වුණා.
රාජ්කොට්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.
දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් පළමු පන්දුවාර 15 තුළ දී ඉතා හොදින් තරගයේ පාලනය සියතට ගෙන තිබූ නමුත්, අවසන් පන්දුවාර 5 තුළ දී තරගයේ පාලනය ඉන්දියාව වෙත නතු වුණා.
පන්දුවාර 15ක් අවසානයේ දී ඉන්දියාව කඩුලු 4ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96ක්. කෙසේ වෙතත්, අවසන් පන්දුවාර 5 තුළ දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 73ක් රැස් කිරීම කැපී පෙනුණා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් කාර්තික් පන්දු 27කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 55 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත්. හර්ඩික් පාන්ඩ්යා පන්දු 31කින් ලකුණු 46ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින්.
ඒ අනුව ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6ක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින්.
පන්දු යැවීමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 2ක් ද, මාර්කෝ ජන්සෙන්, ඩ්වේයන් ප්‍රෙටෝරියස්, අන්රිච් නොකියා හා කේෂාව් මහරාජ් එක් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 16.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි.
එය දකුණු අප්‍රිකාව 20යි 20 තරගයකදී රැස් කළ අවම ලකුණු සංඛ්‍යාව වීම විශේෂත්වයක්.
ආරම්භක පිතිකරුවෙකු වූ නායක ටෙම්බා බවුමා ලකුණු 8ක් ලබා සිටියදී ආබාධයකට ලක් වූ බැවින් ක්‍රීඩාංගනයෙන් ඉවත් වුණා. ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 14කට දුවද්දී දැවී ගියා.
රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 20ක් ද, මාර්කෝ ජන්සෙන් ලකුණු 12ක් ද ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා. යුස්වේන්ද්‍ර චෙහල් ලකුණු 21කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.
දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය ලබන ඉරිදා(19) බැංගලූරුහී දී පැවැත්වීමට නියමිතයි.

