ලෝක වාර්තා මැද එංගලන්තයට ලකුණු 232ක දැවැන්ත ජයක්

Date:

නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 232ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(17) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 499ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්තයට පන්දුවාර 49.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 266ක් පමණයි.

Scott Edwards නොදැවී ලකුණු 72ක් රැස් කළ අතර, Max O’Dowd ලකුණු 55යි.

පන්දු යැවීමේ දී මොයීන් අලී කඩුලු 3ක් බිද හෙලූ අතර, ඩේවිඩ් විලී, රීස් ටොප්ලි හා සෑම් කරන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

නෙදර්ලන්තයේ Amstelveen හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත පිතිකරුවන් එම තීරණයට ප්‍රබල පිළිතුරක් ලබා දෙමින් නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබා ගනිමින්. එය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ දී තරගයක් තුළ කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි ලෝක වාර්තා පොත් අලුත් කරනු ලැබුවේ.

එංගලන්ත ඉනිමේ දී ශතක තුනක් වාර්තා වුණා. එහිදී පිල් සෝල්ට් පන්දු 93කින් ලකුණු 122ක් ද, ඩාවිඩ් මලාන් පන්දු 109කින් ලකුණු 125ක් ද වාර්තා කළා.

ජොස් බට්ලර් පන්දු 70කින් නොදැවී වේගවත් ලකුණු 162ක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහුගේ ඉනිම හයේ පහර 14කින් වර්ණවත් වුණා. ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 22කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 66ක්.

ආරම්භක පිතිකරු ජේසන් රෝයි එක් ලකුණකට දැවී ගිය අතර, නායක ඔයින් මෝර්ගන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

එංගලන්ත ඉනිමේ දී හයේ පහර 26ක් වාර්තා වී තිබූ අතර, එය එක්දින තරගයක ඉනිමකදී කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ ලෝක වාර්තාව ද බිද දැමීමක් වනවා. මීට පෙර එංගලන්තය විසින්ම හයේ පහර 25ක් එල්ල කරමින් අදාළ ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ ඇෆ්ඝනිස්තානයට එරෙහිව 2019 වසරේ දී යි.

මීට පෙර එක්දින තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාවට ද හිමිකම් කීවේ එංගලන්තයයි. ඒ, 2018 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 481ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...