“අපේ මාලිංග, ඔහු ඉතාමත් දක්ෂයි” : දෝනි තරගයෙන් පසු මතීෂ ගැන කියූ දේ

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ වන විට මූලික වටයේ දී තමන්ට නියමිත සියලු තරග ක්‍රීඩා කර අවසන්.

එහිදී ඔවුන් තරග 14කදී ජයග්‍රහන 4ක් පමණක් ලබා ගත් අතර, පරාජය වූ තරග ගණන 10ක්.

ඔවුන්ට මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි.

මෙවර තරගාවලිය ආරම්භයේ දී කණ්ඩායමේ නායකත්වය රවීන්ද්‍ර ජඩේජා විසින් දරනු ලැබූ නමුත්, තරගාවලිය අතරමගදී ඔහු නායකත්වයෙන් ඉවත් වූ අතර, ඒ අනුව කණ්ඩායමේ නායකත්වය යළි හිටපු නායක එම්.එස් දෝනිට හිමි වුණා.

මෙවර තරග වාරයේ දී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට චෙන්නායි කණ්ඩායමට නොහැකි වුවත්, ඔවුන්ගේ ඇතැම් ක්‍රීඩකයින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට මෙවර තරගාවලියේ දී සමත් වුණා.

ඒ අතරට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙන්ම ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ද අයත්.

මතීෂ පතිරණ සිය දෙවැනි අයි.පී.එල් තරගයට සිකුරාදා(20) රාත්‍රියේ දී ක්‍රීඩා කළේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවයි.

රාජස්ථාන් කණ්ඩායම මෙම තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අතර, තරගයේ තීරණාත්මක අවසන් පන්දුවාරය යොමු කිරීමේ වගකීම ද දෝනි විසින් ලබා දුන්නේ මතීෂ පතිරණටයි.

කෙසේ වෙතත්, මෙම තරගයෙන් රාජස්ථාන් කණ්ඩායම කඩුලු 5ක ජයක් වාර්තා කළා.

මතීෂ යොමු කළ පන්දුවාර 3.4 තුළ කඩුලු දවා ගැනීමට ඔහුට නොහැකි වුවද, ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 28ක් පමණයි.

ඔහු සිය මංගල අයි.පී.එල් තරගයේ දී ගුජරාට් ටයිටන්ස් පිලට එරෙහිව ලකුණු 24කට කඩුලු 2ක් දවා ගැනීමට ද පසුගිය 15 වැනිදා සමත් වුණා.

රාජස්ථාන් කණ්ඩායමට එරෙහිව සිකුරාදා රාත්‍රියේ පැවැති තරගයෙන් අනතුරුව ස්ටාර් ස්පෝර්ට්ස් මාධ්‍ය ආයතනය වෙත අදහස් දක්වමින් චෙන්නායි කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් මතීෂ පතිරණ ගැන මෙලෙස අදහස් පල කළා.

“අපේ මාලිංග, ඔහු ඉතාමත් දක්ෂයි. ඔහුගේ පන්දු හදුනා ගැනීම දුෂ්කරයි. මම හිතනවා ඔහු අපිට ලබන වසරේ දී හොදින් දායකත්වය දක්වයි කියලා”

පසුගිය 15 වැනිදා පැවැති තරගයෙන් පසුව ද එම්.එස් දෝනි ඔහුගේ දක්ෂතා විශේෂ අගය කිරීමකට ලක් කළා.

“ඔහු ඉනිමක අවසන් පන්දුවාර යැවිය හැකි අනර්ඝ පන්දු යවන්නෙක්.” යනුවෙන් දෝනි එදින සදහන් කළා.

“ඔහුගේ ඉරියව්වත් සමග පන්දුව හදුනා ගැනීම තරමක් අපහසුයි. ඔහුට තියෙනවා වේගය අඩාල කර යවන පන්දුවත්. ඉතිං ඔබට සිදු වෙනවා ඉතා පරිස්සමෙන් ඔහුව බලන්න. ඒ කියන්නේ ඔබ පන්දුව නරඹන්න අමතර තත්ත්පර කිහිපයක් ගන්නවා, ඒ වගේම ඔහු හොද වේගයකින් පන්දුත් යවනවා, ඔහුට නිරන්තරයෙන් පහර දීම තරමක් අපහසුයි.”

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...