මාෂ් හා තාකූර්ගේ සුපිරි දක්ෂතා දිල්ලි කැපිටල්ස් පළමු සිව් දෙනා අතරට ගෙන යයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 64 වැනි තරගයෙන් ලකුණු 17ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 අතරට පිවිසීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(16) සමත් වුණා. ඔවුන් හමුවේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් පරාජයට පත් වූයේ පංජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මෙම ජයත් සමග කැපිටල්ස් කණ්ඩායම මේ වන විට තරග 13කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 14ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මෙතෙක් සිව්වැනි ස්ථානයේ සිටි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මේ වන විට පස්වැනි ස්ථානය හිමිව ඇති නමුත්, ඔවුන්ට ද තරග 13කදී හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 14ක්.

තරග 13 බැගින් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 12 බැගින් දිනා ඇති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් රැදී සිටින්නේ 6 වැනි හා 7 වැනි ස්ථානවලයි.

ඒ අනුව අද තරගයෙන් පරාජයට පත් වූ පංජාබ් කිංග්ස් කණ්ඩායමට මෙවර තරග වාරයේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව බොහෝ විට අහිමි වනු ඇති.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මිචෙල් මාෂ්ගේ සුපිරි ඉනිමෙන් ශක්තිමත් වෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159 ක් රැස් කිරීමට සමත් වුණා.

ඩේවිඩ් වෝනර් දිල්ලි ඉනිමේ පළමු පන්දුවෙන්ම දවා ගැනීමට ලියම් ලිවින්ග්ස්ටන් සමත් වුණා. ඔහු සමග ඉනිම ආරම්භ කළ සර්ෆරාස් ඛාන් පන්දු 16කින් ලකුණු 32ක් ලබා ගත්තා.

ලලිත් යාදව් ලකුණු 24කට දැවී ගිය අතර, අක්සාර් පටෙල් නොදැවී ලකුණු 17යි.

ඉනිමේ නැංගුරම බවට පත් වූ මිචෙල් මාෂ් පන්දු 48කින් ලකුණු 63ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්.

පන්දු යැවීමේ දී ලියම් ලිවින්ග්ස්ටන් හා අර්ෂ්දීප් සිං කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142ක් පමණයි.

ආරම්භක පිතිකරු ජොනී බෙයාර්ස්ටව් පන්දු 15කින් වේගවත් ලකුණු 28ක් ලබා ගත්තා. ශිකර් ධවාන් ලකුණු 19යි.

කෙසේ වෙතත්, භානුක රාජපක්ෂ ලකුණු 4කටත්, ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 3කටත්, නායක මයාන්ක් අගාර්වල් ලකුණු නොලබාත් දැවී යාම හේතුවෙන් තරගයේ පාලනය දිල්ලි කණ්ඩායමට නතු වුණා.

ජිටේෂ් ෂර්මා හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින් පන්දු 34කින් ලකුණු 44ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වුවත් එය සාර්ථක වූයේ නැහැ. රාහුල් චහාර් නොදැවී ලකුණු 25(24)යි.

පන්දු යැවීමේ දී ශර්දුල් තාකූර් ලකුණු 36කට කඩුලු 4ක් දවා ගත්තා. අක්සාර් පටෙල් හා කුල්දීප් යාදව් අතරේ ද කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...