කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග අහිමි වී තිබෙනවා.
ඒ, ඔහු උකුල ආශ්‍රිත ආබාධයකට ලක් වීම හේතුවෙන්.
ඒ අනුව ඔහු මේ වන විට කොල්කටා කණ්ඩායමේ ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත්ව යළි සිඩ්නි නුවර බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.
කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය එතරම් බරපතල තත්ත්වයක නොමැති බවත්, ඔහුට එළඹෙන ශ්‍රී ලංකා සංචාරය සදහා එක්වීමට හැකි වනු ඇති බවත් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.
මෙම තරග වාරයේ දී කමින්ස් කොල්කටා කණ්ඩායම වෙනුවෙන් තරග 5කට ක්‍රීඩා කළ අතර, එහිදී කඩුලු 7ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.
ඔහු ක්‍රීඩා කළ අවසන් තරගයේ දී ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 22කට කඩුලු 3ක් දවා ගැනීමට කමින්ස් සමත් වුණා.
එමෙන්ම අයි.පී.එල් ඉතිහාසයේ සම වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට කමින්ස් මෙවර තරග වාරයේ දී සමත් වුණේ මුම්බායි කණ්ඩායමට එරෙහිවම පැවැති තරගයකදී පන්දු 14කින් සිය අර්ධ ශතකය වාර්තා කරමින්.
මේ වන විට පවතින තත්ත්වය අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලැබීම ද අවිනිශ්චිත වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ඉදිරියේ දී ඉතා කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහනක් ලැබී ඇති අතර, ඒ අනුව ඔවුන්ගේ ටෙස්ට් නායක පැට් කමින්ස් සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් පසු වීම ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත්.
ඔවුන් තවත් සති කිහිපයකින් ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එහිදී 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, එම සංචාරයේ 20යි 20 තරගාවලියෙන් කමින්ස් විවේක ගන්වා තිබෙනවා.

