මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී අඛණ්ඩව ලැබූ තරග 8ක පරාජයෙන් පසුව මෙවර තරග වාරයේ සිය පළමු ජය වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද(30) සමත් වුණා.
ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 44 වැනි තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු 5ක ජයක් වාර්තා කරමින්.
මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 159ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
නායක රෝහිට් ෂර්මා ලකුණු 2කට දැවී ගිය අතර, ඉෂාන් කිෂන් ලකුණු 26යි.
ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන් සූර්යකුමාර් යාදව් පන්දු 39කින් ලකුණු 51ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 5ක් සමගින්.
තිලක් වර්මා ලකුණු 35යි. කයිරන් පොලාඩ් ලකුණු 10කට දැවී ගියා.
ටිම් ඩේවිඩ් පන්දු 9ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 20ක් නොදැවී රැස් කිරීමට සමත් වුණා. ඩැනියල් සෑම්ස් තමා මුහුණ දුන් පළමු පන්දුවටම හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දුන්නා.
පන්දු යැවීමේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට්, ප්‍රසිද් ක්‍රිෂ්නා, රවිචන්ද්‍රන් අශ්වින්, යුස්වේන්ද්‍ර චෙහල් හා කුල්දීප් සෙන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි නායක රෝහිට් ෂර්මාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 158ක් රැස් කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.
ජොස් බට්ලර් පන්දු 52කින් ලකුණු 67ක් වාර්තා කළා. එම ඉනිමට අඛණ්ඩව එල්ල කළ හයේ පහර 4ක් ද ඇතුළත්. හතරේ පහර 5ක් ද ඔහුගේ ඉනිමට අන්තර්ගත වුණා.
පන්දු යැවීමේ දී හ්රිතික් ෂොකීන් හා Riley Meredith කඩුලු 2 බැගින් බිද හෙලුවා.
https://twitter.com/cric12222/status/1520470823877767169

