ශ්‍රී ලංකාව තවත් දැවැන්ත පරාජයක් අභියස

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(13) බැංගලූරුහී දී නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 447ක ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 28ක් ලබා සිටියා.

ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින දිමුත් කරුණාරත්න ලකුණු 10ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 16ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 86ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 109කට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

මෙම ලකුණු ප්‍රමාණය ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ දී වාර්තා කළ දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

අද දිනයේ දී අවසන් කඩුලු 4 දවා ගැනීම සදහා ඔවුන්ට යොමු කිරීමට අවශ්‍ය වූයේ පන්දු 35ක් පමණයි.

ලසිත් ඇඹුල්දෙණිය එක් ලකුණකටත්, සුරංග ලක්මාල් ලකුණු 5කටත්, නිරෝෂන් දික්වැල්ල ලකුණු 21කටත්, විශ්ව ප්‍රනාන්දු ලකුණු 8කටත් අද දිනයේ දී දැවී ගියා. ප්‍රවීන් ජයවික්‍රම නොදැවී ලකුණු 1යි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 43(85)ක් හා ධනංජය ද සිල්වා ලකුණු 10 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 5ක් දවා ගත්තා. රවිචන්ද්‍රන් අශ්වින් හා මොහොමඩ් ෂාමි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 9ක් දැවී ලකුණු 303ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ෂ්රෙයස් අයියර් ලකුණු 67ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 50ක් ලබා ගත්තා.

පාන්ට් සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 28ක් පමණක් වැය කරමින්. එය ඉන්දීය පිතිකරුවෙකු ටෙස්ට් තරගයකදී වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4ක් හා ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් බිද හෙලුවා. විශ්ව ප්‍රනාන්දු හා ධනංජය ද සිල්වා අතරේ කඩුල්ල බැගින් බෙදී ගිය අතර, සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සුරංග ලක්මාල්ට මෙම ඉනිමේ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 252ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකාව තවත් ලකුණු 419 ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...