රබාඩාගේ කඩුලු ත්‍රිත්වය හමුවේ එංගලන්තය පළමු පරාජය ලබයි

Date:

කාගිසෝ රබාඩා තරගයේ අවසන් පන්දුවාරයේ දී බිද හෙලූ කඩුලු ත්‍රිත්වය හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිය පළමු පරාජය අත් කර ගැනීමට එංගලන්තයට අද(6) සිදු වුණා.

සාජා ක්‍රීඩාංගනයේ පැවැති තරගාවලියේ 39 වැනි තරගයෙන් දකුණු අප්‍රිකාව ජය වාර්තා කළේ ලකුණු 10කින්.

මෙම තරගයෙන් ජය ගත්ත ද දකුණු අප්‍රිකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

එංගලන්තයේ ආරාධනයෙන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

රසී වැන් ඩර් ඩුසේන් පන්දු 60කින් නොදැවී ලකුණු 94ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් සමගින්.

ඒඩ්න් මාක්‍රම් පන්දු 25කින් නොදැවී ලකුණු 52ක් වාර්තා කළා. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් සිය ඉනිමට ඇතුළත් කරමින්.

පන්දු යැවීමේ දී මොයීන් අලී හා අඩිල් රෂීඩ් කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 8ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 179ක් පමණයි.

ජේසන් රෝයි ලකුණු 20ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ පාදයක ඇති වූ ආබාධයක් හේතුවෙන්. ඔහුට තරගාවලියේ ඉතිරි තරගද බොහෝ විට අහිමි වනු ඇති.

මොයීන් අලී ලකුණු 37ක්, ඩාවිඩ් මලාන් ලකුණු 33ක් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 28ක් ලබා ගත්තා. තරගාවලියේ දිගම හයේ පහර ලිවින්ග්ස්ටන් විසින් මෙම ඉනිමේ දී එල්ල කිරීම ද කැපී පෙනුණා. එම හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 112ක් ලෙසයි. (දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න – පහතින් ද නැරඹිය හැක)

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලකුණු 14ක් අවශ්‍ය වූ නමුත්, කාගිසෝ රබාඩා යොමු කළ එම පන්දුවාරයේ දී එංගලන්තය රැස් කළේ ලකුණු 3ක් පමණයි.

එම පන්දුවාරයේ පළමු පන්දු 3 තුළ දී පිළිවෙලින් ක්‍රිස් වෝක්ස්, ඔයින් මෝර්ගන් හා ක්‍රිස් ජෝර්ඩ්න් දවා ගනිමින් රබාඩා කඩුලු ත්‍රිත්වයක් ද බිද හෙලීම විශේෂත්වයක්. (එහි දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න)

ටැබ්රයිස් ශම්සි හා ඩ්වේයන් ප්‍රෙටෝරියස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඔස්ට්‍රේලියාවේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යමින් දකුණු අප්‍රිකාව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමටනම් මෙම තරගයේ දී එංගලන්තය ලකුණු 131කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට දකුණු අප්‍රිකාවට සිදුව තිබුණා.

එමෙන්ම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් එංගලන්තයට මෙම තරගයේ ජය අනිවාර්යය නොවූ අතර, ඔවුන්ට ඒ සදහා ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 87ක් පමණයි.

ඒ අනුව පළමු කාණ්ඩයෙන් එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

එම කණ්ඩායම් දෙක හා දකුණු අප්‍රිකාව තරග 4 බැගින් ජය ගනිමින් සම ප්‍රසාද ලකුණු (8) හිමි කර ගත් නමුත්, දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණටත්, ඔස්ට්‍රේලියාව දෙවැනි ස්ථානයටත් පත් වුණා.

දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...