ශ්‍රී ලංකාව ලබන වසරේත් සුපිරි 12ට නැහැ ; ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයත් සුදුසුකම් ලබයි

Date:

ලබන වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගත් කණ්ඩායම් 8 ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් නිවේදනය කළා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 38 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 2022 ලෝක කුසලාන 20යි 20 තරගාවලියේ ද සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට මෙවර තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 12 සෘජුව සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව ද එම තරගාවලියට මේ වන විට සුදුසුකම් ලබා අවසන්.

කෙසේ වෙතත්, 2022 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයට සෘජුව සුදුසුකම් ලබන්නේ මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් දෙක හා ලබන 15 වැනිදා වන විට 20යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 6යි.

සෙනසුරාදා දිනයේ දී ඔස්ට්‍රේලියාව හමුවේ කොදෙව්වන් පරාජය වීමත් සමග වත්මන් අයි.සී.සී ශ්‍රේණිගත කිරීම් අනුව ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබන කණ්ඩායම් තීරණය කිරීමේ අවස්ථාව මේ වන විටත් උදා වී ඇත්තේ ලබන 15 වැනිදා වන තෙක් පවතින තරග තුළින් අයි.සී.සී 20යි 20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි සැලකිය යුතු වෙනසක් සිදු නොවන බැවින්.

කොදෙව්වන් ලැබූ පරාජයත් සමග ඔවුන් මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 9 වැනි ස්ථානයයි. බංග්ලාදේශය 8 වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය සදහා සෘජුව සුදුසුකම් ලබා ගෙන ඇති කණ්ඩායම් වන්නේ සත්කාරක ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශයයි.

ශ්‍රී ලංකාවට අමතරව, කොදෙව්වන්ට, නැමීබියාවට හා ස්කොට්ලන්තයට ලබන වසරේ ලෝක කුසලාන තරගාවලිය ද පළමු වටයේ සිට ආරම්භ කිරීමට සිදු වනවා.

සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් තේරී පත් වන තවත් කණ්ඩායම් 4ක් ද පළමු වටයට සුදුසුකම් ලබනු ඇති.

2022 වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදීයි 20යි 20 ලෝක කුසලානය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...