මුම්බායි 5 වැනියා වෙමින් තරගාවලිය නිම කරයි; සූර්යකුමාර්ගෙන් හා කිෂන්ගෙන් සුපිරි ප්‍රහාරයක්

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වන ස්ථානයෙන් සෑහීමකට පත් වීමට පසුගියවර අයි.පී.එල් ශූරයින් වූ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිදු වුණා.

ඒ, තරගාවලියේ 55 වන තරගයෙන් ඔවුන්ට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 170ක පරතරයක් සහිතව තරගය ජය ගැනීමට නොහැකි වීමත් සමග අවසන් වටයේ(Playoffs) ස්ථානයක් අහිමි වීම හේතුවෙන්. මෙම තරගයෙන් මුම්බායි කණ්ඩායම ජය ගත්තේ ලකුණු 42කින් පමණයි.

අබුඩාබිහි පැවැති තරගයේ පළමුව පන්දුවට දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල් ඉතිහාසයේ දී ඔවුන් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සමත් වුණා.

ඒ, නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 235ක් ලබා ගනිමින්.

මුම්බායි වෙනුවෙන් සුපිරි ප්‍රහාරයක නිරත වූ ඉෂාන් කිෂන් පන්දු 32කින් වේගවත් ලකුණු 84ක් රැස් කළා.

ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 11ක් සමගින්.

සූර්යකුමාර් යාදෙව් පන්දු 40කින් ලකුණු 82ක් වාර්තා කළා. හයේ පහර 3ක් හා හතරේ පහර 13ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 52ක් ප්‍රතිවාදීන්ට ලබා දුන් නමුත්, කඩුලු 4ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

රෂීඩ් ඛාන් හා අභිෂෙක් ෂර්මා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහනය පමණක් මුම්බායි කණ්ඩායට ප්‍රමාණවත් වූයේ නැහැ. ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටින කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දල ලකුණු ලබා ගැනීමේ වේගය අභිබවා යාමටනම් මුම්බායි පිල මෙම තරගයෙන් අවම වශයෙන් ලකුණු 170ක ජයක් වාර්තා කිරීම අවශ්‍ය වුණා.

ඒ අනුව ප්‍රතිවාදී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම ලකුණු 65කට හෝ ඊට අඩු ලකුණු ප්‍රමාණයක් තුළ දවා ගැනීමට මුම්බායි පන්දු යවන්නන්ට සිදු වුවද, එය සාර්ථක කර ගැනීමට මුම්බායි පන්දු යවන්නන්ට හැකි වූයේ නැහැ.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් පිල පන්දුවාර 20 නිමා කළේ කඩුලු 8ක් දැවී ලකුණු 193ක් රැස් කරමින්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 64කට සීමා කරමින් ජේසන් රෝයි ලකුණු 34කට දැවී ගියා. අභිෂෙක් ෂර්මා ලකුණු 33යි.

මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 69ක් රැස් කළේ පන්දු 41කින්. ඊට හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් ඇතුළත්. ප්‍රියාම් ගර්ග් ලකුණු 29යි.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා, නේතන් කොල්ටර් නයිල් හා ජේම්ස් නීෂම් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව, පසුගියවර ශූරයින් වූ මුම්බායි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය හිමි කර ගනිමින් මෙවර තරග වාරය නිමා කළ අතර, සන්රයිසස් කණ්ඩායමට හිමි වූයේ අවසන් ස්ථානයයි.

දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් මේ වන විට මෙවර තරගාවලියේ අවසන් වටයේ ස්ථාන වෙන් කර ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...