පිතිකරුවන් යළිත් අසාර්ථක වෙද්දී වැස්සෙන් ශ්‍රී ලංකාවට සහනයක්

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(4) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතරමගදී අතහැර දැමීමට සිදු වූ බැවින්.

බ්‍රිස්ටල්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය සුපුරුදු දියාරු පිතිහරඹය යළි යළිත් ප්‍රර්ශනය කරමින් පන්දුවාර 41.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 166ක් පමණයි.

පිතිකරණයේ දී සිදු වන අඩුපාඩු හදුනා ගනිමින් එය සකස් කර ගන්නවා වෙනුවට අඛණ්ඩව එම වරදවල්ම සිදු කරමින් ප්‍රතිවාදීන්ට කඩුලු පූජා කිරීමේ ක්‍රමවේදයට මෙතෙක් තිත තැබීමමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට නොහැකි වී ඇති බව අද දිනයේ දී ද දක්නට ලැබුණා.

ඒ, ශ්‍රී ලංකා පුහුණුකරුවන් ද තම වගකීම් නිසි ලෙස ඉටු නොකරන බවක් යළි යළිත් පෙන්නුම් කරමින්.

තරග සංචාරය පුරාවටම පන්දුවට පහර දීමේ දී පන්දුවේ දෝලනය පිළිබද අවබෝධයක් පිතිකරුවන්ට නොතිබූ අතර, කෙටි පන්දු තුළින් ද පිතිකරුවන් දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එක්දින තරගාවලියේ ඉනිම් තුනේ දී වනිදු හසරංග මෙන්ම එක්දින තරගාවලියේ ක්‍රීඩා කළ ඉනිම් දෙකේදීම ධනංජය ද සිල්වා ද කෙටි පන්දු හමුවේ දැවී ගියේ ඉතා කනගාටුදායක අයුරින්.

අවිශ්ක ප්‍රනාන්දු ද ඉනිම් දෙකේ දී ම දැවී ගියේ ඔහු තුළට දෝලනය වූ පන්දුවට නිසි අයුරින් පහර දීමට නොහැකි වීම නිසා කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.

ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා සදහන් කර සිටියේ ශ්‍රී ලංකා පිතිකරුවන් තමා අතින් සිදු වන වැරැදි හදුනා ගනිමින් ඒවා නිවැරැදි කර ගැනීමට කටයුතු කර නොමැති බවයි.

අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දසුන් ශානක නොදැවී ලකුණු 48ක් රැස් කළ අතර, වනිදු හසරංග ලකුණු 20කට දැවී ගියා.

පන්දු යැවීමේ දී ටොම් කරන් කඩුලු 4ක් බිද හෙලූ අතර, ක්‍රිස් වෝක්ස් සහ ඩේවිඩ් විලී අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

කෙසේ වෙතත්, අනතුරුව වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට හැකි වූයේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු ජයග්‍රහනයක් ලබා ගැනීමට නොහැකි වෙමින් නිමා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...