දියාරු පිතිහරඹයකින් ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ඉතිහාසයේ පළමු තරගාවලි ජය පුදයි

Date:

ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම තරග රටාවකින් ලැබූ පළමු තරගාවලි ජය වාර්තා කිරීමට බංග්ලාදේශය අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ද බංග්ලාදේශය අද ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 103ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

දෙරට අතර මීට පෙර එක්දින තරගාවලි 8ක් පවත්වා තිබූ අතර, එම සියලු තරගාවලි ජය ගෙන තිබුණේ ශ්‍රී ලංකාවයි.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් ඉතා දුර්වල සහ සුපුරුදු සෘනාත්මක පිතිහරඹ රටාව ප්‍රදර්ශනය කිරීම කනගාටුවට කරුණක්.

ලකුණු 247ක ලකුණු සංඛ්‍යාවක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා පමණක් යම් රිද්මයක් සමගින් වේගයෙන් ලකුණු රැස් කිරීමට යම් උත්සාහයක් ගන්නා බවට දක්නට ලැබුණ ද පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් ලකුණු 14කට දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් කෙමෙන් කෙමෙන් තම කණ්ඩායම වෙතම පීඩනය ලබා ගන්නා අයුරු දැකගන්නට ලැබුණා.

සෑම පිතිකරුවෙකුම පාහේ යම් ආරම්භයක් ලබා ගත්තද එය දිගු ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට කිසිදු පිතිකරුවෙකු සමත් වූයේ නැහැ.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 24ක්, පැතුම් නිස්සංක ලකුණු 20ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 15ක්, ධනංජය ද සිල්වා ලකුණු 10ක් ලබා ගනිමින් දැවී යාම ඊට නිදසුන් සපයනවා.

අශේන් බණ්ඩාර ලකුණු 15කට දැවී ගිය අතර, දසුන් ශානක ලකුණු 11කටත්, වනිදු හසරංග ලකුණු 6කටත් දැවී ගියා.

ඉසුරු උදාන හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 17ක් වාර්තා කළා.

ඉනිමේ 38 වන පන්දුවාරය අවසන් වීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 40කට සීමා කෙරුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගය ජය ගැනීම සදහා ලකුණු 245ක ඉලක්කයක් හිමි කර දෙමින්.

ශ්‍රී ලංකා ඉනිම නියමිත පන්දුවාර 40 අවසානයේ සටහන් වුණේ කඩුලු 9කට ලකුණු 141ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ දී නිලකුණු පන්දු 148ක් වාර්තා වීම පිතිකරණයේ දියාරු බව මොනවට පැහැදිලි කරනවා.

පන්දු යැවීමේ දී යළිත් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ මෙහිදි හසාන් මිරාස් සිය පන්දුවාර 10 තුළ දී ලකුණු 28ක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා.

මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 16කට කඩුලු 3ක් සහ ශකිබ් අල් හසාන් ලකුණු 38කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 48.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 246ක් රැස් කළා.

පළමු තරගයේ දී මෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 4 අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.(74/4)

කෙසේ වෙතත්, සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් බංග්ලාදේශයට සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට දායකත්වය දැක් වූ මුෂ්ෆිකර් රහීම් සිය 8 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 125ක් රැස් කළේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට ද පිතිකරණ පාඩමක් කියා දෙමින්.

පන්දු 127කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත්.

මහ්මුදුල්ලාහ් ලකුණු 41ක් සහ ලිටොන් දාස් ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර සහ ලක්ෂාන් සදකැන් කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...