තරග පාවාදීමේ අල්ජසීරා චෝදනාවලින් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාම නිදහස් – ICC

Date:

අල්ජසීරා රූපවාහිනිය විසින් 2018 වසරේ දී වාර්තා කළ ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී සිදු වූ බව කියන තරග පාවාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වන විමර්ශන වසර තුනක කාලයකට පසුව අවසන් කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) පවසනවා.

ඒ අනුව අදාළ සිද්ධීන්වලට සම්බන්ධ වූ බව කියූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනාට එරෙහිව චෝදනා ගොණු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි අයි.සී.සීය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

2018 වසරේ මැයි 27 වනදා අල්ජසීරා රූපවාහිනිය විසින් මෙම තරග පාවාදීමේ අණාවරණය පළමුව සිදු කළ අතර, එහිදී එංගලන්තය සහ ඉන්දියාව අතර 2016 වසරේ චෙන්නායිහි පැවැති ටෙස්ට් තරගය සහ 2017 වසරේ දී රංචිහී දී පැවැති ඉන්දු – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය ද පාවා දී ඇති බවට හෙළිදරව් කළා.

ඒ සදහා එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධ බවටයි සදහන් වුණේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ තණතීරු සකස් කිරීමේ දී ද මෙම පාවා දීම් සිදුව තිබූ බවට චෝදනා එල්ල වුණා.

මීට අදාළ විමර්ශනය ප්‍රධාන පැතිකඩ 3ක් ඔස්සේ සිදු කළ බව අයි.සී.සීය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

එනම්, අදාළ ප්‍රවෘත්තිමය විශේෂාංගයේදී එල්ල වූ චෝදනා, ඊට සම්බන්ධ සැකකරුවන් සහ වැඩසටහන සදහා සාක්ෂි සකස් කර ගත් ආකාරය පිළිබදව මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

මෙම විමර්ශන සදහා අයි.සී.සීය විසින් ස්වාධීන ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රිකට් විශේෂඥයින් සිව් දෙනෙකු සම්බන්ධ කර ගත් බව සදහන්.

එහිදී ඔවුන් සිව් දෙනාගේම මතය වී ඇත්තේ පාවාදුන් බවට චෝදනා එල්ල වූ සිද්ධීන් (අවස්ථා) සම්පූර්ණයෙන්ම පුරෝකතනය කළ හැකි (අනාවැකි පල කළ හැකි) සිද්ධීන් බවටයි.

එබැවින් එම සිද්ධීන් පාවාදීමේ සිද්ධීන් ලෙස හදුනා ගත නොහැකි බව ඔවුන් පෙන්වා දී තිබෙනවා.

අල්ජසීරා මාධ්‍ය ආයතනයෙන් එල්ල කළ චෝදනාවල සෑම අංශයකම මූලික දුර්වලතා තිබූ බවයි අයි.සී.සී දූෂන මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලේක්ස් මාෂල් සදහන් කර සිටියේ.

ඒ අනුව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් අදාළ ප්‍රවෘත්තිමය විශේෂාංගයේ දී අණාවරණය කෙරුණු පුද්ගලයින් පස් දෙනාට එරෙහිව අයි.සී.සී දූෂන මර්දන පනත යටතේ කිසිදු චෝදනාවක් ගොණු නොකරන බව ඔහු කියා සිටියා.

මෙලෙස අණාවරණය වූ පස් දෙනා අතරට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ සහ හිටපු පාකිස්තාන ක්‍රීඩක හසන් රාසා ද ඇතුළත්.

සෙසු තිදෙනාගෙන් දෙදෙනෙකු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනියුක්තව පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ජීවන්ත කුලතුංග හා තරිදු මෙන්ඩිස්.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහාය කළමණාකරු (තණතීරු සකසන්නා) වූ ඉන්දික තරංග අදාළ ප්‍රවෘත්තිමය විශේෂාංගයේ දී අණාවරණය කෙරුණු අනෙක් පුද්ගලයායි.

මෙම අණාවරණය හේතුවෙන් සිදු කෙරුණු පරීක්ෂණවලට සහායක් වශයෙන් ක්‍රිකට් ආයතනයට අනියුක්තව කටයුතු කළ ජීවන්ත කුලතුංග, තරිදු මෙන්ඩිස් හා ඉන්දික තරංගගේ සේවය ද අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...