ස්මිත්ගේ ශතකය හමුවේ තරගයේ පාලනය එංගලන්තයට – ශ්‍රී ලංකාව ලකුණු 82 ක් ඉදිරියෙන්

Date:

එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර මැන්චෙස්ටර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(23) නිමා වුණේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 204 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 82 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින කමිදු මෙන්ඩිස් සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 56 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 20 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

චන්දිමාල් ලකුණු 10 ක් ලබා සිටියදී මාර්ක් වුඩ්ගේ පන්දුවක් වැදීමෙන් දකුණු අතේ ඇගිල්ලක ආබාධයකට මුහුණ දුන් අතර, අනතුරුව ඔහුව රෝහල්ගත කිරීමට ද පියවර ගැණුනා. කෙසේ වෙතත්, එහිදී ඔහුගේ තත්ත්වය බලපතල නොවන බවට අනාවරණය වීම හේතුවෙන් ඔහු යළි පිතිකරණයේ නිරත වීමට පිටියට පිවිසියේ ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මිලාන් රත්නායක ලකුණු 10 කට දැවී යාමෙන් අනතුරුවයි.

ඉනිමේ පළමු කඩුලු දෙක ලෙස නිශාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා සිටියදී දැවී ගියා. අනතුරුව දිමුත් කරුණාරත්න හා ඇන්ජෙලෝ මැතිව්ස් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 51 ක්.

දිමුත් ලකුණු 27 කට දැවී ගිය අතර, මැතිව්ස් මැද පෙල ශක්තිමත් කරමින් ලකුණු 65 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 2ක් සමගින්. අද ඔහු වාර්තා කළේ 42 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. නායක ධනංජය ද සිල්වා ලකුණු 11 කට දැවී ගියා.

ධනංජයගේ දැවී යාමෙන් පසු මැතිව්ස් හා කමිදු මෙන්ඩිස් අතර ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 78ක්.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 2 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන්, මාර්ක් වුඩ්, මැතිව් පොට්ස් හා ජෝ රූට් කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 259 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 358 ක්. ඒ, ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 236 ට පිළිතුරු වශයෙන්.

ජෙමී ස්මිත් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහරක් හා හතරේ පහර 8ක් සමගින්. හැරී බෘෘක් ලකුණු 56 ක් ද, ජෝ රූට් ලකුණු 42 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ අසිත ප්‍රනාන්දු ලකුණු 103 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ප්‍රභාත් ජයසූරිය ලකුණු 85 කට කඩුලු 3 ක් බිද හෙලුවා. විශ්ව ප්‍රනාන්දු බිද හෙලූ කඩුලු ගණන 2ක්. සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන මිලාන් රත්නායක ද කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...